වසර 35 කට පසු තෙල් සංස්ථාව සේවක කප්පාදුවකට සැරසේ!! 1000ක් ඉවතට

වසර 35 කට පසු තෙල් සංස්ථාව සේවක කප්පාදුවකට සැරසේ!! 1000ක් ඉවතට

බඳවා ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කිරීමේ වැඩසටහන යටතේ සේවක සේවිකාවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇත. මෙය සිදුවන්නේ වසර 35 කට පමණ පසුවය.

 

එම සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර  ප්‍රකාශ කළේ සංස්ථාවේ වර්තමාන සේවක සංඛ්‍යාව තුන්දහසක් පමණ වන බවයි. එම සංඛ්‍යාව දෙදහස් තිස් එකක් (2031) දක්වා අඩු කිරීමට තීරණය කළ බව ඔහු අවධාරණය කළේය.

 

2012 වසරෙන් පසු මෙම වසර දක්වාම සේවකයන් 3,000 ක් පමණ ඛණිජ තෙල් සංස්ථාවේ සේවය කර තිබෙන බවත්, නව ක්‍රමවේදය හරහා අත්‍යවශ සේවකයන් පමණක් රඳවා ගන්නා බවත් ඔහු පැවසුවේය. මෙම ක්‍රමවේදය සඳහා අනුමැතිය මේ වන විටත් ලැබී ඇත. එය ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව ඔහු පැවසීය.

 

කෙසේ නමුත් මෙම ක්‍රමවේදය හරහා කිසිසේත්ම වර්තමානයේ ඛනිජ තෙල් සංස්ථාවේ සේවය කරන පුද්ගලයන්ට අසාධාරණයක් නොවන බව කළමනාකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේය. ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් විශාල ප්‍රමාණයක් මෙම වසර තුළ දී සහ ඉදිරි වසර තුළ විශ්‍රාම යෑමට සිටින බැවින් ඔවුන්ගෙන් පසු එම තනතුරුවලට වෙනත් කිසිදු අයකු බඳවා ගැනීමක් නොකරන බව හෙතෙම පැවසුවේය.

 

එමෙන්ම සංස්ථාවේ මින් ඉදිරියට රඳවා ගන්නේ අත්‍යවශ්‍යම සේවකයන් බැවින් අනෙක් සේවකයන්ට අසාධාරණයක් නොවන ආකාරයට ඔවුන්ව වෙනත් ආයතනවලට අනුයුක්ත කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Search