පාතාල අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් මලයාසියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලාංකික අපරාධකරුවන් 26 දෙනකු වහාම මෙරටට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුඩ්ලර් මහතා පවසයි. මෙම අපරාධකරුවන් පිළිබඳව සොයා බලා ඔවුන් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ පොලිස් කණ්ඩායමක් මැලේසියාව බලා පිටත්ව ගිය බවද ඒ මහතා කියා සිටියි.
මැලේසියා පොලිස් අත්අඩංගුවේ සිටින අපරාධකාරයන්ට අදාළ ඡායාරූප ඇතුළු තොරතුරු සියල්ල මේ වනවිටත් යවා ඇති බවද වුඩ්ලර් මහතා පවසයි.
මෙහිදී අත්අඩංගුවට ගෙන සිටින පාතාල අපරාධකරුවන් දෙදෙනකු පිළිබඳව විශේෂ අවධානය යොමුවී ඇති අතර ඔවුන්ගෙන් එක් අයකු 20 වන වියේ පසුවන තරුණයකු බවද පොලිසිය කියා සිටියි.
මෙම අපරාධකරුවන් දෙදෙනා පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජ්‍ය බුද්ධි අංශයේ සහ අපරාධ වාර්තා කොට්ඨාසය හරහා ලබාගත් තොරතුරු මැලේසියා පොලිසිය වෙත ලබාදී ඇත.
කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත යන පාතාල නායකයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවට මහත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් පසුගියදා රට පුරා ප්‍රචාරය වී තිබිණි.
මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මැලේසියාවට සහ තායිලන්තයට පිටත්ව ගිය ද ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් ලැබී නොතිබිණි.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ පාතාල නායකයන් දෙදෙනා මැලේසියා – තායිලන්ත දේශසීමාවේදී අත්අඩංගුවට පත්වීමෙන් පසු එහි සිටි රාජ්‍ය නිලධාරීන්ට අල්ලස් මුදල් ලබාදී අත්අඩංගුවෙන් මිදී පලායන්නට ඇති බවයි.
එහෙත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුඩ්ලර් මහතා කියා සිටියේ කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත අත්අඩංගුවට ගත් බවට නිල තොරතුරක් මැලේසියා පොලිසියෙන් මේ වනතුරුත් තමන්ට නොලැබුණු බවයි.
මාධ්‍යයට අදහස් දක්වමින් එෆ්. යූ. වුඩ්ලර් මහතා තවදුරටත් කියා සිටියේ පසුගිය ජනවාරි 01 වැනිදා සිට ජූලි 13 වැනිදා දක්වා අතර කාලසීමාව තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2308ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම කාල සීමාව තුළ සිදු කළ වැටලීම්වලදී ටී56 අවි 23ක්, පිස්තෝල 46ක් ඇතුළු විවිධ වර්ගයේ ගිනි අවි 1165ක් අත්අඩංගුවට ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම මාස හතක කාල සීමාව තුළදී වෙඩි තැබීමේ සිද්ධීන් 68 ක් වාර්තා වී ඇති අතර ඉන් 50 ක්ම පාතාල අපරාධකරුවන් විසින් සිදු කළ ඒවා බවද වුඩ්ලර් මහතා පවසයි.
මෙම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 37 දෙනකු ඝාතනයට ලක්වී ඇති අතර ඉන් 34 දෙනකුම ඝාතනයට ලක්ව ඇත්තේ පාතාල කණ්ඩායම් විසින් සිදු කළ ප්‍රහාරවලින් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.
මෙම වෙඩි තැබීම් සම්බන්ධයෙන් පාතාල වෙඩික්කරුවන් 27 දෙනකු අත්අඩංගුවට ගෙන සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුඩ්ලර් මහතා වැඩිදුරටත් කියා සිටියේය.