වැටුප හා දීමනා ලබා නොගන්නා කිසිදු මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ නොමැති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ පාර්ලිමේන්තුවෙන් ලබාගත් තොරතුරුවලින් හෙලිව තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුව මගින් ලබාගත් 2025 ජනවාරි සිට මාර්තු දක්වා මාස තුනක වැටුප් හා දීමනා පිළිබඳ තොරතුරුවලට අනුව අනාවරණය වූයේ, ඒ අතුරින් කිසිවකු මහජන මුදලින් වැටුප් සහ දීමනා ලබාගැනීම ප්‍රතික්ෂේප කර නොමැති බවයි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 107 දෙනා සහ අගමැතිනිය ප්රමුඛ අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුද, කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය සභාපතිනිය ඇතුළු 52 දෙදෙනාද ඒ අතර වෙති. මෙම සියලු දෙනාට අදාළ වැටුප් හා දීමනා පාර්ලිමේන්තුව මගින් මාසිකව ඔවුන්ගේ බැංකු ගිණුම්වලට යොමු කර හෝ චෙක්පත් මගින් ඔවුන්ට ලබා දී තිබෙන බව අනාවරණය වේ.
ඒ ආකාරයෙන් පසුගිය මාර්තු මාසයේදී පමණක් පාලක පක්ෂයේ මැති ඇමතිවරුන් වෙනුවෙන් රුපියල් පන්කෝට් පනස් ලක්ෂයකට අධික මුදලක් (55,155,993.46) ගෙවා ඇති අතර, එම මුදල සඳහා අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා ගෙවූ වැටුප් ඇතුළත් නොවේ.
එම වැටුප් ගෙවා ඇත්තේ අදාළ අමාත්‍යාංශ මගිනි. අමාත්‍යවරයෙකුගේ සාමාන්‍ය වැටුප රුපියල් 65,000ක් පමණ වන අතර, ඒ අනුව අමාත්‍ය, නියෝජ-අමාත්‍යවරුන් 49 දෙනෙකු සඳහා මාසිකව රුපියල් තිස් එක් ලක්ෂයකට අධික මුදලක් (3,185,000.00ක්) වැයකරනු ලැබේ. වීමෙන්ම පත්වීම් ලද දින සිට 2025 මාර්තු මස දක්වා අමාත්‍යවරු හා නියෝජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ලැබෙන ඉන්ධන දීමනාව හා අමාත්‍යවරයෙකු ලෙස ලැඛෙන ඉන්ධන දීමනාව වශයෙන් ඉන්ධන දීමනා දෙකක් ලබාගෙන තිබෙන බව අනාවරණය වේ.
කෙසේ නමුත් අගමැතිනිය ප්රමුඛ අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 30 දෙනකුගේ ඉල්ලීම මත 2025 අප්‍රේල් මස සිට පාර්ලිමේන්තුව මගින් ඔවුන්ට ගෙවනු ලබන ඉන්ධන දීමනාව ගෙවීම අත්හිටුවා ඇති නමුත්, තවත් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් 19 දෙනෙකු පෙර සේ අදාළ අමාත්‍යාංශය හා පාර්ලිමේන්තුව යන දෙකෙන්ම ඉන්ධන දීමනා ලබා ගනිමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමි වැටුප සහ ලබාදෙන අනෙකුත් දීමනා කිහිපයක් තිබේ.
මාසික දීමනාව ලෙස රුපියල් 54,285.00 ක මුදලක් ද, මාසික සංග්‍රහ දීමනා ලෙස රුපියල් 1000.00ක්, රියදුරු දීමනාව ලෙස රුපියල් 3500.00ක්, දුරකථන දීමනාව ලෙස රුපියල් 50,000.00ක්, මන්ත්‍රීවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගමන් වියදම පියවා ගැනීම වෙනුවෙන් රුපියල් 15,000.00ක්, කාර්යාල දීමනාව ලෙස රුපියල් 100,000.00ක්, පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවීම වෙනුවෙන් දිනක් සඳහා පැමිණීමේ දීමනාව රුපියල් 2500.00ක්, පාර්ලිමේන්තු රැස්වීම් නොපැවැත්වෙන දිනවල පැවැත්වෙන කාරක සභා සඳහා සහභාගීවීම වෙනුවෙන් රුපියල් 2500.00 ක් මෙන්ම, මන්ත්‍රීවරයා නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කය අනුව ඉන්ධන ලීටර් ප්‍රමාණයක්ද ලබාදෙනු ලැබේ.
නිදසුන් වශයෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් හට මාසිකව ඉන්ධන ලීටර් 283.94ක් ලබාදෙන අතර, දිගාමඬුල්ල, යාපනය, මඩකලපුව දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලීටර් 639.53ක් හිමි වේ. මේ ආකාරයෙන් 2025 මාර්තු මාසයේදී පමණක් කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති, පක්ෂ විපක්ෂ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් වෙනුවෙන් රුපියල් කෝටි අටකට අධික මුදලක් (80,102,056.21) වැය කර තිබේ. ඊට ආසන්න මුදලක් සෑම මාසයකදීම ඉහත තනතුරු වෙනුවෙන් වැය කිරීමට සිදු ව ඇත.