පොලිස් නිලධාරීන් ලෙස වෙස්වළාගත් පාතාල කුලී ඝාතකයන් පිරිසක් විසින් 22 හැවිරිදි තරුණයකු සහ තවත් අයකු පැහැරගෙන ගොස් කහවත්ත, ඇන්දාන ප්‍රදේශයේදී ඔවුන්ගේ දෑත්වලට මාංචු දමා මහමග දණගස්සවා එම එක් තරුණයකුගේ හිසට වෙඩි තබා ඝාතනය කර අනෙක් තරුණයාට තුවාල කර ඇත්තේ, ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින ‘හෝමාගම හඳයා’ නමැති පාතාල නායකයා ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත.
පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගන්නා ලදී.
මෙම ඝාතනය සඳහා යොදාගත් ජීප් රථය ඇතුළු වාහන දෙකක් සහ යතුරුපැදි තුනක් ද පොලිසිය සිය භාරයට ගෙන ඇත.
ඩුබායි හි සැඟවී සිටින අමිත් සහ හෝමාගම ‘හඳයා’ නමැති පාතාල අපරාධකරුවන්ගේ ගෝලයකු මත්ද්‍රව්‍ය සමග කහවත්ත පොලිසිය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
එම ගෝලයා අත්අඩංගුවට ගැනීමට ඔත්තු ලබා දුන්නේ ඝාතනයට ලක්වූ තරුණයා සහ ඔහුගේ සොහොයුරා විසින් බවට වැරදි වැටහීමක් ඇතිකරගත් හෝමාගම හඳයා, පාතාල කුලී ඝාතකයන්ට මුදල් ලබාදී මෙම තරුණයා ඝාතනය කර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙහිදී අත්අඩංගුවට ගත් හෝමාගම ජනක හෙවත් ජනා නමැත්තා හෝමාගම හඳයාගේ සමීපතමයකු වන අතර ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානියකු ද වන බව පොලිසිය පවසයි.
කහවත්තේ පදිංචි 22 හැවිරිදි ඉමන්ත සුරංජන නමැති තරුණයා ඝාතනය කළ පුද්ගලයන් රහසිගතව රැගෙන යෑම, ආයුධ ප්‍රවාහනය සහ මෙම ප්‍රහාරය සඳහා යොදාගත් ජීප් රථයේ වර්ණය වෙනස් කිරීම සම්බන්ධයෙන් ජනාට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව පොලිසිය පවසයි.
ඉකුත් ජුනි මස 30 වැනිදා රාත්‍රියේ පොලිස් නිලධාරීන් ලෙස වෙස්වළාගත් පාතාල අපරාධකරුවන් පිරිසක් ඉමන්ත සුරංජනගේ නිවසට කඩාවැදී ඔහු සහ මිතුරකු පැහැරගෙන ගොස් තිබිණි.
ඉමන්තගේ නිවුන් සොහොයුරා පාතාල මැරයන්ගෙන් මිදී පලා ගොස් තිබිණි. සන්නද්ධ පිරිස, ඉමන්ත සහ ඔහුගේ මිතුරාගේ දෑත්වලට එකට මාංචු දමා ඔවුන් කහවත්ත ඇන්දාන ප්‍රදේශයට රැගෙන ගොස් ඇත.
එහිදී ඉමන්ත දණගස්සවා ඔහුගේ හිසට වෙඩි තබා ඝාතනය කර මිතුරාට ද වෙඩි තබා තුවාල කර පලාගොස් තිබිණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පෑලියගොඩ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළේය.
සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් සිදුකළ විමර්ශනවලදී මෙම ඝාතනයට යොදාගත් ජීප් රථය කඩවත ප්‍රදේශයේ සඟවාගෙන එහි පැහැය වෙනස් කර ඇති බව හෙළි කරගෙන ඇත.
ඒ අනුව මෙම ජීප් රථයේ පැහැය වෙනස් කළ හෝමාගම ජනා අත්අඩංගුවට ගන්නා ලදී.
පසුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී ඝාතනය සඳහා යොදාගත් ජීප් රථය සහ මෝටර් රථයක් ද සොයාගෙන ඇත. එම නිවසේම තිබී සොරාගන්නා ලද යතුරුපැදි තුනක් ද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම ජීප් රථයේ පැහැය වෙනස් කළ ගරාජයේ සේවකයන් දෙදෙනකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මේ අතර හෝමාගම හඳයාගේ උපදෙස් මත මෙම ඝාතනයට සම්බන්ධ වූ සැකකරුවන් සිව්දෙනාට නවාතැන් පහසුකම් දුන් ‘අප්පච්චි’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතනයට සම්බන්ධ වූ කුලී ඝාතකයන් සිව්දෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ නිවාස කිහිපයක් පොලිසිය පරීක්ෂා කළ ද ඔවුන් ඒවා අහහැර පලාගොස් තිබිණි.
බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.
මේ අතර අත්අඩංගුවට පත් සැකකරුවන් සිව් දෙනාගෙන් දෙදෙනකු දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට හෝමාගම වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමපටබැඳි මෙනවිය ඊයේ (16) පොලිසියට අවසර දී ඇත.
අනෙක් සැකකරුවන් දෙදෙනා අද (17) දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළ අතර ඒ අනුව ඔවුන් අද පැල්මඬුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
කහවත්තේ ඝාතනයේ සුල මුල සොයා ගනී... ඩුබායි ඉන්න හඳයගේ වැඩක්
