හිටපු මන්ත්‍රීන්ගේ නෝනලා 174 කටත් පැන්ෂන්.... පැන්ෂන් දෙන්න වසර හතකට කෝටි දෙසිය දහ අටක්

හිටපු මන්ත්‍රීන්ගේ නෝනලා 174 කටත් පැන්ෂන්....  පැන්ෂන් දෙන්න වසර හතකට කෝටි දෙසිය දහ අටක්

හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනකු සහ දරුවන් හත් දෙනකු වෙනුවෙන් ද කාලයක සිට රජයෙන් විශ්‍රාම වැටුප් ගෙවන බව පාර්ලිමේන්තු
ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 325 දෙනකු, හිටපු මන්ත්‍රීවරුන්ගේ වැන්දඹුවන් 174 දෙනකු හා හිටපු මන්ත්‍රීවරුන්ගේ දරුවන් හත් දෙනකු වෙනුවෙන් පසුගිය වසරේදී පමණක් රුපියල් කෝටි 36 කට ආසන්න මුදලුත් වැය කර තිඛෙන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශ වාර්තාවල සදහන් වේ. 

මේ අනුව හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් පසුගිය 2018 වර්ෂයේ සිට පසුගිය වර්ෂය දක්වා රුපියල් කෝටි 218ක් පමණ වැය කර ඇත.

2018 වර්ෂයේ දී කෝටි 21 කට වැඩි මුදලක් ද 2019 දී කෝටි 28කට වැඩි මුදලක් ද 2020 දී කෝටි 35කට වැඩි මුදලක් ද 2021 වර්ෂයේදී කෝටි 31 කට වැඩි මුදලක් ද 2022 වර්ෂයේ දී කෝටි 33 කට වැඩි මුදලක් ද 2023 වර්ෂයේදී කෝටි 32 කට වැඩි මුදලක් ද හිටපු මන්ත්‍රී විශ්‍රාම වැටුප වෙනුවෙන් මෙසේ ගෙවා ඇත.

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන බවට රජය මුලින් ප්‍රකාශ කළ ද මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් විශ්‍රාම වැටුප ගෙවීම දිගටම කරගෙන යන බවත් පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.
විශ්‍රාම වැටුප එසේ අහෝසි කරනු ලැබුවහොත් වර්තමාන පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් එකසිය පනස් නව දෙනා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ට ද විශ්‍රාම වැටුප අහිමි වනු ඇත.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අතීතයට බලපැවැත්වෙන පරිදි නීති සකස් කළ නොහැකි හෙයින් හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට නීතිමය වශයෙන් ඉඩකඩ නොසැලසෙනු ඇතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

Search