සභා පිහිටුවන්න බැරි පලාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට..

සභා පිහිටුවන්න බැරි පලාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට..

 පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය, ආචාර්ය චන්දන අබේරත්න මහතා ප්‍රකාශ කළේ සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතන ඉදිරියේදී කොමසාරිස් පාලනයට යටත් කරනු ඇති බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතැම් පළාත් පාලන ආයතනවල කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට බහුතර බලය හිමි නොවීය. එවැනි තත්ත්වයක් තුළ, සභාපති සහ උප සභාපති තෝරා ගැනීමේ වගකීම අදාළ ප්‍රදේශවල පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත පැවරිණි.

බොහෝ පළාත් පාලන ආයතනවල සභාපති සහ උප සභාපති තෝරා ගැනීම රහස් ඡන්ද විමසීමක් මගින් සිදු කෙරිණි. කෙසේ වෙතත්, ඇතැම් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් රහස් ඡන්ද විමසීමට විරෝධය පළ කරමින් සභාවෙන් පිටව ගොස් තිබීම හේතුවෙන් තත්ත්වය තවත් සංකීර්ණ විය.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය:

“ඉදිරි මාස තුන ඇතුළත අපි මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. මුලින්ම, අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් පළාත් පාලන කොමසාරිස්වරුන්ගෙන් මන්ත්‍රීවරුන් පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට කටයුතු කරාවි. ඉන් අනතුරුව, ආණ්ඩුකාරවරුන්ට බලය තිබෙනවා අදාළ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට. පසුව, අදාළ පළාත් පාලන ආයතනය කොමසාරිස්වරයෙකු යටතට පත් කිරීම සිදු වනවා.

ඒ අතරතුර, රජය විසින්ද මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා තිබෙනවා. එහිදී නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන මතයද දැනට පිහිටුවීමට නොහැකි පළාත් පාලන ආයතනවල අනාගතය තීරණය කරාවි. මන්ත්‍රීවරුන්ට එපා නම් කොමසාරිස් පාලනයට ලක්කර හෝ සියලුම පළාත් පාලන ආයතන පවත්වාගෙන යා යුතු වනවා. එසේ නොවන්නේ නම් කොහොමද ගමේ සංවර්ධන කටයුතු සිදුකරන්නේ?”

මෙවර පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට පෙරද රට පුරා සියළු පලාත් පාලන ආයතන වසර කිහිපයක් තිස්සේම පැවතියේ කොමසාරිස් පාලනයේය

 

Search