ජන සමාජයේ ඇති ස්වාධීන සිවිල් සංවිධාන NPP එකේ දේශපාලනීකරණයට ලක් කිරීමේ කූඨ උපක්‍රමය පරාජයට පත් කරමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජන සමාජයේ ඇති ස්වාධීන සිවිල් සංවිධාන NPP එකේ දේශපාලනීකරණයට ලක් කිරීමේ කූඨ උපක්‍රමය පරාජයට පත් කරමු - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

අප රටේ බිම් මට්ටමේ නීතිය හා සාමය, මහජන ආරක්ෂාව, ජනතා අයිතිය, පුරවැසියන්ගේ නිදහස සුරක්ෂා කරන්නට සාමය සුරක්ෂා කරන්නට සිවිල් ආරක්ෂක කමිටු ක්‍රමය එදා ක්‍රියාත්මක වූ බවත් ප්‍රජා නායකත්වයෙන් ප්‍රජා මැදිහත්වීමෙන් මේ මහජන ආරක්ෂක කමිටු ක්‍රියාත්මක වූ අතර එය කිසිදු දිනක දේශපාලනීකරණයක් නොවූ බවත් එහි නිලතල සහ සාමාජිකත්වය පක්ෂ දේශපාලනය නොකළ අය මෙන්ම පක්ෂ දේශපාලනය කළ අයටද විවෘත වුවත් අද වන විට සිවිල් ආරක්ෂක කමිටු මහජන ආරක්ෂක කමිටුවලට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් නිලතල බෙදා ගෙන ප්‍රසිද්ධියට පත් කිරිම සිදු කරන බවත් මේ පත් කිරීම් සිදු කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාල සහ මහජන කාර්යාල බවත් මොවුන් මේ හරහා දේශපාලන පීඩනයක් සෙසු කණ්ඩායම්වලට ලබා දෙන කූඨ ක්‍රියාවලියක නිරත වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ හලාවත ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සහ කාන්තා මන්ත්‍රී සංසද සමග පැවැති හමුවකදීය.*

මෙය වැරදි ක්‍රියාවක් බවත් සියලුම දෙනා බිම්මට්ටමින් ශක්තිමත් වුවහොත් මේ අනීතික දේශපාලන ක්‍රියාවලිය නැවැත්විය හැකි බවත් මෙය යෞවන සමාජවල, ග්‍රාම සංවර්ධන සමිතිවල, කාන්තා සමිතිවල, විශ්‍රාමික සමිතිවල, මරණාධාර සමිතිවල පවා මේ කූඨ දේශපාලනය ක්‍රියාත්මක කරන බවත් මොවුන් ජන සමාජයේ ඇති සිවිල් සංවිධාන දේශපාලනීකරණය කිරීමක් බවත් බිම් මට්ටමේ ජනතා මතය ශක්තිමත් තැන මේ පහත් නිර්ලැජ්ජිත ක්‍රියාවලියේ සාර්ථකත්වය බිඳ වැටී ඇති බවත් මුළු ගමම නගරයම කොන්ද කෙළින් තියන් විරුද්ධ වූ තැන මේවා අසාර්ථක වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මහජන ආරක්ෂක, සිවිල් ආරක්ෂක කමිටු දේශපාලනඥයන්ගේ කාර්යාල හරහා පත් කිරීමේ ක්‍රමවේදය පරාජය කළ යුතු බවත් ඒ සදහා සියලු දෙනාම ශක්තිමත් විය යුතු බවත් මේ අනීතික කමිටුවල වලංගුභාවය අභියෝගයට ලක් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Search