අමෙරිකාව සමඟ නූල් සූත්තරෙන් වැඩකර බදු සහන ලබාගැනීමට ක්‍රියා කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවැසීය.
මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ඊයේ (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
“අමෙරිකාව සමඟ වෙළෙඳ ගිවිසුම තවම ස්ථිර නැති බව තමයි අපට ආරංචි වෙලා තියෙන්නේ. දින කිහිපයකින් එය අවසන් කිරීමට නොහැකි වුවත් ඉදිරියට යන්න අඩිතාලම දමා ගත යුතුයි. පිලිපීනය සහ වියට්නාමය රටවලින් අමෙරිකාවට ආනයනය සඳහා බදු 19% සහ 20% කර තිබෙනවා. ජපානයේ 15%කට අඩු කරගෙන තිබෙනවා. මේ තරගකාරී රටවල් සමඟ අපට තියුණු තරගයක් තිබෙනවා.
ජනාධිපතිවරයා මුණ ගැසුණු අවස්ථාවේ නූල් සුත්තරෙන් වැඩකර අමෙරිකාවෙන් මෙරටට ගෙනෙන භාණ්ඩවලට සියයට බිංදුවක බදු අය කිරීමේ හැකියාවක් ඇති කර ගත්තොත් අපට අමෙරිකාව සමඟ කතා කරන්න පදනමක් ඇති වෙන බව මා ප්‍රකාශ කළා. පිලිපීන, වියට්නාමය, මැලේසියාව, ඉන්දුනීසියාව වැනි රටවල් සාර්ථකත්වය ඇති කරගෙන තිබෙන්නේ මෙවැනි වැඩපිළිවෙළක් තුළිනුයි. බංකොලොත් භාවයෙන් එළියට එන්න අපට උදවු කරන බවට අමෙරිකාව යම්කිසි ආකාරයකින් ගිවිසුම් ගතවෙලා තිබෙනවා. නමුත් මෙවැනි බදු පැනවීම ඊට පටහැණි ක්‍රියාවක්.
අපේ රට වැදගත් භූගෝලීය කේන්ද්‍රස්ථානයක තිබෙන්නේ. එය ප්‍රයෝජනයට ගත යුතුයි. සිංගප්පූරුව සහ පිලිපීනය එවැනි අවස්ථා ප්‍රයෝජනයට ගත් නිසා අද එවැනි තත්ත්වයක තිබෙනවා. ඉන්දියාව සමඟ අපේ වෙළෙඳ ගිවිසුමක් තිබෙනවා. අමෙරිකාව අපේ රටේ ආයෝජනය කළ විට කිසි බද්දක් නැතිව ඉන්දියාවට යා හැකියි. අප සාකච්ඡා කළ යුත්තේ මේ කරුණු මුල් කරගෙනයි.
අප විදුලිය ගේන්න තවමත් එක ඒකකයකට රුපියල් 70ක් විතර ගෙවනවා. එය පුනර්ජනනීය බලශක්තියෙන් කළා නම් ගෙවීමක් කිරීම අවශ්‍ය නෑ. LNG වෙළෙඳාම අමෙරිකාව සමඟ කටයුතු කළ හැකි හොඳම අවස්ථාවයි. දැන් චීනය සමඟ කතා කරන්න යනවා. නමුත් අපට චීනයට අපනයනය කරන්න බෑ. ඔවුන් අපට එහෙන් ආනයනය කරනවා විතරයි. අපට වෙළෙඳ ගනුදෙනු කළ හැකි අමෙරිකාවට කතා කර LNG අපට දෙන්න, අපගේ වෙළෙඳ ක්ෂේත්රවලට උදවු කරන්න කියන්න බැරි ඇයි?