වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට කැප වූ තරුණයන්ගේ සහ රාජ්‍ය සේවකයන්ගේ බලාපොරොත්තු දවසින් දවස හීන බවට පත් වෙමින් තිබෙන බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේය.
බලය ලබා ගැනීමට දුන් පොරොන්දු කිසිවක් මේ වන තෙක් ඉටු වී නොමැති බවත් ඉන් තරුණයන් වගේම රාජ්‍ය සේවකයත් දැඩි කම්පනයට පත්ව සිටින බවත් හෙතෙම කීවේය.
මේ ආණ්ඩුව බලයට ගෙන එන්න තරුණ තරුණියෝ, රාජ්‍ය සේවකයෝ විශාල වැඩ කොටසක් කරා. මොකද ජනතා විමුක්ති පෙරමුණ ඒ දුන්න පොරොන්දු එක්ක ජනතාව හීන දැක්කා. අද ඇත්තටම ඒ හැමදෙයක්ම හීන බවට පත් වෙලා. ඒ වගේම මම ආණ්ඩුවට අභියෝග කරනවා ඕනෑම ඇමැතිවරයෙක් ඇවිත් කියන්න විදේශ විනිමය කොපමණ ගෙනත් තිබෙනව ද කියලා. ඩොලර් මිලියන 98ක් තිබෙනවා. ඒකත් පසුගිය ආණ්ඩුව අස්සන් කළ ගිවිසුමක සල්ලි තමයි ඇවිත් තිබෙන්නේ. එදා අපි අස්සන් කරපු ගිවිසුම්වල සල්ලි තමයි තවමත් එන්නේ. එහෙම නැතුව මේ ආණ්ඩුවට අදටත් ඍජු ආයෝජන ගෙන්න හැකියාවක් ලැබිලා නැහැ. අපි මෙවැනි දේ කියල සතුටු වෙන්න හදනවා නෙවයි. අපිට අවශ්‍ය කවුරු හරි ඉදිරිපත් වෙලා රටට විදේශ විනිමය ගෙන ඒකයි. එහෙම වුණොත් තමයි අපේ ආර්ථිකය වගේම ජනතාවගේ ජීවිතත් සුරක්ෂිත වෙන්නේ.