ඉදිරියේදී එන අභියෝග ජයගන්න පරිවර්තනීය වෙනස්කම් අවශ්‍යයි--කරු

ඉදිරියේදී එන අභියෝග ජයගන්න පරිවර්තනීය වෙනස්කම් අවශ්‍යයි--කරු

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය
‘ට්‍රම්ප් බද්ද අඩු කිරීම සහනයක්’

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරු බදු අනුපාතය 20% ක් කිරීම යම් ආකාරයක සහනයක් වුවත් අපනයන වෙළෙඳ පොළ තුළ තරග කරන සෙසු රටවල් දෙස ද බලා අපේ අපනයන ආර්ථිකය තවත් හිතකර පරිවර්තනීය වනෙස්කම්වලට ලක් කොට ඉදිරියේදී එන අභියෝග ජයගත යුතු බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ නායක කරු ජයසූරිය මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍ෂේත්‍රය අඩුම ඵලදායිතාවක් ඇති රටක් නිසා අපනයනයට හා නිෂ්පාදනයට තවත් හිතකර පසුබිමක් ඇති කළ යුතු බව ද ඔහු පවසයි. ඉකුත්දා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ කරු ජයසූරිය මහතා,

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය ලෙස, එහිදී ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයෙන් ද විශේෂයෙන්ම රටේ ආර්ථිකයට අදාළ ප්‍රතිපත්ති සැලසුම් කරන්නා වූ ආයතනයන්ගෙන් මෙන්ම පෞද්ගිලක ව්‍යවසායකයන්ගෙන් හා වෘත්තීය සංවිධානයන්ගෙන් ද ඉල්ලා සිටින්නේ මතුවිය හැකි අභියෝග පිළිබඳව සාමූහිකව එක්වී ඉදිරි සැලසුම් සකස් කර ගන්නා ලෙසටය. එහිදී අප අත්‍යවශ්‍යයෙන්ම අවධානය යොමු කළ යුතු අංශ ගණනාවක් තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍ෂේත්‍රය සැලකීමේ දී සැලකෙන්නේ අඩුම ඵලදායිතාවයක් ඇති රටක් ලෙසටය. එමෙන්ම විදුලි ගාස්තු අතින් ද පවතින්නේ ඉහළම මට්ටමක ය. ලෝකයේ වැඩිම නිවාඩු සහිත රටක් ලෙස අප සිටින්නේ කර්මාන්ත අධෛර්යමත් කරන පරිසරයක ය. එයට අමතරව වරාය හා අනෙකුත් පොදු ප්‍රවාහන ක්‍ෂේත්‍රයන්හි නිරතුරුව සිදුවන වැඩවර්ජන හේතුවෙන් ද අප රටේ නිෂ්පාදන අංශයට එල්ල කරන්නේ මාරාන්තික තර්ජනයකි. මෙම තත්ත්වයන් කෙරෙහි අප වඩා වැඩි අවධානයක් යොමු කළ යුත්තේ අප හමුවේ තරග කරන ආසියානු කලාපයේ අනෙකුත් රටවල් පවත්වාගෙන යන නිෂ්පාදන හිතකර වාතාවරණයන් සැලකිල්ලට ගනිමිනි. එසේ පරිවර්තනීය යුගයකට පිවිසෙන්නේ නැතිව අපනයන ආර්ථිකය මුහුණ දෙන අභියෝග ජයගත නොහැකි වනු ඇතැයි යන්න අපගේ විශ්වාසය යැයි කීවේය

Search