අපේ අත්වල ලේ නෑ – නාමල්

අපේ අත්වල ලේ නෑ – නාමල්

ආණ්ඩුව විසින් දිගින් දිගටම සිදු කරන මඩ ගැසීම්වලට එරෙහිව නීතිමය කටයුතු කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (06) පක්ෂ මූලස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

කන්ටේනර් 323 නිදහස් කිරීම සහ ඒවායේ තිබූ බඩු භාණ්ඩ පිළිබඳව රටට හෙළි කරන ලෙසට ආණ්ඩුවට තමා අභියෝග කරන බවද ඔහු මෙහිදී කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කලේ,

“පහුගිය දිනවල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් ආණ්ඩුව සහ පොලිසිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කේන්ද්‍ර කරගෙන යම් ප්‍රකාශයක් සිදු කරලා තියෙනවා. ඒ වගේම යම් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා පුද්ගල පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා, එම අපේක්ෂකයාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරලා තියෙනවා.

ඉතින් අපි බලාපොරොත්තු වෙනවා විශ්වාස කරනවා ආණ්ඩුව එක පැත්තකින් මේ පිළිබඳව අපක්ෂපාතීව, දේශපාලන දඩයමක් නොකරගෙන පරීක්ෂණ කටයුතු කරයි කියන කාරණය. ඒ වගේම තමයි අපි දැනගන්න කැමතියි මේ කන්ටේනර් සම්බන්ධයෙන් ආණ්ඩුවේ නැත්නම් පොලිසියේ පොලිස්පතිවරයාට හෝ පොලිසියට මීට පෙර තොරතුරු දැනගන්න ලැබිලා තියෙනවාද? නැද්ද? කියලා. බුද්ධි අංශවලින් එහෙම නැත්නම් විදේශ බුද්ධි අංශවලින් පොලිස්පතිවරයාව මේ පිළිබඳව දැනුවත් කරලා තිබ්බද?

ඒ වගේම තමයි ආණ්ඩුව බලයට ඇවිල්ලා කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට ආණ්ඩුව නිශ්ශබ්ද වුනත් කන්ටේනර් 300 ගණනක් සහ අඩු වැඩි වශයෙන් කන්ටේනර් වරායෙන් එළියට ආපු කාරණය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මුදල් අමාත්‍යාංශය ලේකම්වරයා පත් කරපු වාර්තාවේත් සඳහන් වෙනවා මේ කන්ටේනර් 300 ගානට අමතරව තවත් කන්ටේන‍ර් වරායෙන් එළියට ඇවිල්ලා තියෙනවා කියන කාරණය. එහෙමනම් මේ කියන කන්ටේනර් ආවේ වරායෙන් ඔය ආකාරයටද කියන ප්‍රශ්නය අහනවා.

මොකද, වරාය භාර අමාත්‍යවරයාට මේ විෂය සම්බන්ධතාවයක් නොවුනත් එතුමා වගකීම භාර අරගෙන මේ කන්ටේනර් තියෙන තැන දන්නවා කිව්වා. කන්ටේනර් තියන තැන දන්නවා නම් අද වෙනකන් මේ වරායෙන් එළියට ආපු කන්ටේනර් මෙච්චර කල් කොහෙද තිබ්බේ? කොහොමද රතු නිවේදනයක් තියෙන කන්ටේන‍ර් එකක් වරායෙන් එළියට ආවේ? එහෙමනම් ජනාධිපතිවරයා පත් කරපු කමිටුවේ මුදල් ලේකම්වරයාගේ වාර්තාවට අනුව මේ කන්ටේනර් දෙකත් ඒ ආකාරයෙන්ම වරායෙන් පන්නපු කන්ටේනර් ද? කියන ප්‍රශ්නෙත් අපිට ආණ්ඩුවෙන් අහන්න සිද්ධ වෙනවා.

අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා වගේම අපි ආණ්ඩුවට අභියෝග කරනවා, අපි කියනවා අපේ අත්වල ලේ නෑ. අපි අසාධාරණ කටයුතුවලට මැදිහත් වෙලා නැහැ. අපි නීති විරෝධී කටයුතුවලට මැදිහත් වෙන්නෙත් නෑ.ඉතින් අපි ආණ්ඩුවට කියනවා අපි කෙඳිරිගාන්නෙත් නෑ. කරුණාකරලා සාධාරණව පරීක්ෂණ කරන්න. ළාමක දේශපාලනය නවත්තලා මේ සංවිධානාත්මක අපරාධ වළක්වන්න සක්‍රීයව මැදිහත් වෙන්න.

Search