කථානායකට නීතිමය සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන කිසිදු දැනුමක් නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා
නියෝජ්‍ය ඇමැතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට නොහැකි නම් එම නියෝජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ලබාදෙන පිළිතුරුවලද කිසිදු වගකීමක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසූ අතර ඉතිහාසයේ පළමු වතාවට විශ්වාසභංග යෝජනාවක් ප්‍රතික්ෂේප කර තිබෙන බවත් එවැන්නක් සිදු කිරීමට කථානායකට නීතිමය දැනුමක් සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව කිසිදු දැනුමක් නැතැයි මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව භාරදුන් විශ්වාසභංගය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව ඊයේ (10දා) පාර්ලිමේන්තුවේදී විපක්ෂය පැවැත් වූ ප්රවෘත්ති සාකච්ඡාවේදී එම මහත්වරුන් මෙම අදහස් දැක්වීය.
ගයන්ත කරුණාතිලක මහතා
අගෝස්තු මාසයේ දොළොස් වැනිදා විපක්ෂයේ මන්ත්‍රීවරු කථානායකවරයා මුණ ගැසී ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලැබූ විශ්වාස භංග යෝජනාව භාර දෙනු ලැබුවා. ඉන්පසු පාර්ලිමේන්තු කටයුතු රැස්වීමේදී සහ පක්ෂ නායකක රැස්වීමේදී මේ පිළිබඳව අපි කථානායකවරයාගෙන් විමසීමක් සිදු කළා. ඒ අනුව විශ්වාසභංගය පිළිබඳව නීතිපතිවරයාගෙන් ලැබුණ උපදෙස් පිළිබඳව කථානායකවරයා පක්ෂ නායකවරුන්ට දැනුම් දෙනු ලැබුවා. මෙම විශ්වාස භංගය ගෙන ඒමේදී අධිකරණමය බලපෑමක් තිබෙනවාදැයි සොයා බැලිය යුතු බවද කථානායකවරයා ප්‍රකාශ කළා. ඒ වගේම පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයේ වාර්තාවක් කැඳවන බව කතානායකවරයා ප්‍රකාශ කළා. එම වාර්තාවෙන් අනතුරුව විශ්වාස භංගය පිළිබඳව තීරණය ගන්නා බව කථානායකවරයා ප්‍රකාශ කළා.
කෙසේ නමුත් පළවෙනි වතාවට තමයි මෙවැනි විශ්වාසභංගයක් බැහැර කරනු ලැබුවේ. නියෝජ්‍ය ඇමැතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට නොහැකි බවට කථානායකවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළා. නමුත් මීට පෙර අගමැතිවරුන්ට, ඇමැතිවරුන්ට විරුද්ධ පක්ෂයේ නායකයින්ට පවා විශ්වාස භංග ගෙනැවිත් තිබෙනවා. ඒ වගේම ලෝකයේ රටවලත් මේ සඳහා පූර්වාදර්ශ තිබෙනවා.
ඒ වගේම නීතිපතිවරයා විසින් මෙම විශ්වාස භංගය පිළිබඳව ලබා දුන් වාර්තාව සභාගත කරන ලෙස අපි කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ අනුව එම වාර්තා හෙට දිනයේ දී සභාගත කරාවි යැයි අපි බලාපොරොත්තු වෙනවා. නියෝජ්‍ය ඇමැතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට නොහැකිනම් එම නියෝජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ලබාදෙන පිළිතුරු වලද කිසිදු වගකීමක් නැති පිළිතුරු ලෙසයි අපිට සලකන්න සිදුවන්නේ. ආරක්ෂක ඇමැතිවරයා වෙත යොමු කරනු ලබන ප්‍රශ්නවලට ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා තමයි පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදෙන්නේ. ඊයේ දිනයේදීත් ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදී තිබෙනවා.
අජිත් පී පෙරේරා මහතා
කථානායකවරයාගේ නියෝගයක් අධිකරණමය තීන්දුවක් හා සමානයි. කතානායකවරයෙකු ඉදිරිපත් කරන තීන්දු හේතු සහිතව නීතිමය පදනම විස්තර කරන තීන්දුවක් විය යුතුයි. ඒ වගේම මෙම විශ්වාසභංගය නීත්‍යානුකූල දැයි කතානායකවරයා නීතිපතිවරයාගෙන් විමසූ විට නීතිපතිවරයා නිසැක ලෙසම ප්‍රකාශ කළේ මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරියට ගෙනයා හැකි බවත් නීතිමය බාධාවක් නොමැති බවත්ය. කෙසේ හෝ කතානායකවරයා නීතිපතිවරයාගේ මතය බැහැර කරනවා නම් ඒ සඳහා උදාහරණ සහිතව තීන්දුවක් ලබාදීමට කටයුතු කළ යුතුයි. නමුත් කථානායකවරයා ලබා දුන්නේ එවැනි නියෝගයක් නෙවෙයි. ගුණාත්මක තීන්දුවක් අපි කතානායකවරයාගෙන් බලාපොරොත්තු වුණා.
ඒවගේම පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායන් පිළිබඳව ඔවුන්ගේ මතය ප්‍රකාශ කර ගැනීමට බලයක් තිබෙන්නේ පාර්ලිමේන්තුවේ ලේකම්වරුට. කථානායකවරයා පාර්ලිමේන්තුවේ ලේකම්වරුන්ගේ මණ්ඩලයෙන් මෙම විශ්වාස භංගය පිළිබඳව අදහස් විමසා තිබෙනවා. ඒ පිළිබඳව කතානායකවරයාගේ කතාවෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම නියෝජ්‍ය ඇමැතිවරයෙකුට අදාළ විෂයන් ගැසට් නොකරන නිසා විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට නොහැකි බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් අද කතානායකවරයා එවැනි තර්කයක් ඉදිරිපත් කළේ නැහැ. ඒ වගේම ස්ථාවර නියෝගවල මෙවැන්නක් නොමැති නිසා විශ්වාස භංගය ගෙන ඒමට නොහැකි බව කතානායකවරයා ප්‍රකාශ කළා. නමුත් ආණ්ඩුවට විරුද්ධව ගෙන එන විශ්වාස භංග යෝජනා පිළිබඳව ස්ථාවර නියෝගවල සඳහන් වන්නේ නැහැ. ඇමැතිවරුන්ට එරෙහිව ගෙන එන විශ්වාස භංග යෝජනා පිළිබඳවත් ස්ථාවර නියෝගවල සඳහන් වන්නේ නැහැ. කථානායකවරයාට විරුද්ධව ගෙන එන විශ්වාස භංග යෝජනා පිළිබඳවත් ස්ථාවර නියෝගවල සඳහන් වන්නේ නැහැ. විශ්වාස භංගය කියන වචනයවත් ස්ථාවර නියෝග වල සඳහන් වන්නේ නැහැ. ඒ අනුව නියෝජ්‍ය ඇමැතිවරයෙකුට විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම ප්රතිපාදනයක් නැතැයි කියන කාරණයට අර්ථයක් නැහැ.
පළමු වතාවට විශ්වාසභංග යෝජනාවක් ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් එවැන්නක් සිදුකරන්න කතානායකවරයාට නීතිමය දැනුමක් සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පිළිබඳව කිසිදු දැනුමක් නැහැ. ඒ නිසා කතානායකවරයා ලෝකයේ වෙනත් පාර්ලිමේන්තු පරිචයන් පිළිබඳව අවධානය යොමු කොට ඒවා තමන්ගේ නියෝගයන්ට අන්තර්ගත කළ යුතුයි. නමුත් කතානායකවරයාගේ ප්‍රකාශයේ එවැනි කිසිවක් සඳහන් වුනේ නැහැ. මෙය නියෝගයක් නෙවෙයි. මෙම නියෝගයකට තර්ක, හේතු ඇතුළත් විය යුතුයි.