21 වන දාට පසු රට අඳුරේ තබන්න ඉඩ තියන්න එපා’- විදුලි වර්ජකයෝ කියති

21 වන දාට පසු රට අඳුරේ තබන්න ඉඩ තියන්න එපා’- විදුලි වර්ජකයෝ කියති

ලංවිම ඉන්ජිනේරුවන් ඇතුළු සියලු ශ්‍රේණීන්ට අයත් සේවකයන් පිරිසක් ඊයේ දිනයේත් (සැප්. 18) දෙවන දිනටත් ලෙඩ නිවාඩු වාර්තාකර කොළඹ, කොටුවේ විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක නිරත වූහ.

පාරිභෝගික ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීමේ අරමුණින් විදුලිබල මණ්ඩල සේවකයන් දෙකකට බෙදී ඊයේ සහ පෙරේදා (17, 18) දිනවල ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට සමගාමීව දහවල් කාලයේ උද්ඝෝෂණයේ නිරත වූහ.

විරෝධතාවේ යෙදුණු විශාල සේවක පිරිසක් ලංවිම ප්‍රධාන කාර්යාලය ඉදිරිපස මාර්ගයට පිවිසීමෙන් කොම්පඤ්ඤවීදිය සිට කොළඹ කොටුව දෙසට යන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පැවතිණි.

උද්ඝෝෂණයේ නියැළුණු පිරිස් මහාමාර්ගයට පිවිස විරෝධතාවේ යෙදීමෙන් ඇති වූ රථ වාහන තදබදය හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇති විය.

ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ක්‍රමවත් කිරීම හා ඒ සම්බන්ධ ඉල්ලීම් 24ක් මූලික කරගෙන විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු සියලු ශ්‍රේණිවලට අයත් කාර්ය මණ්ඩල මෙම මස 4 වන දා සිට ඊයේ දිනට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වී දින 14ක් ගතවී තිබිණි.

විදුලිබල මණ්ඩල මූලස්ථානය ඉදිරිපිට මාර්ගයට පැමිණි විරෝධතාකරුවෝ මහ වැසි මැද “ප්‍රතිව්‍යුහගතකරණය නිවැරැදිව සිදුකරනු”, “විදුලි සේවක අයිතීන් සුරකිනු”, “සේවක අයිතීන් කප්පාදු නොකරනු”, “අනුර ලංවිම වික්කා” ආදී පාඨ ලියා තිබූ පුවරු ඔසවාගෙන, ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කෙරෙන ආකාරයට විරුද්ධව විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වූහ.

ජනතාව අපහසුතාවට පත්නොකර අඛණ්ඩව විදුලිය සැපයීමත්, කාර්යාල කටයුතුවලට බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීම් යන වගකීම ඉටුකළයුතු බැවින් දෙකක් ලෙස දින දෙකකට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසි බව විදුලි ඉන්ජිනේරු සංගමයේ විධායක නිලධාරි ධනුෂ්ක පරාක්‍රමසිංහ පැවසීය.

විදුලි සේවක ඉල්ලීම්වලට ධනාත්මකව මැදිහත් නූනහොත් 21 වන දායින් පසු තම ශක්තිය පෙන්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි විදුලි නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත සඳහන් කළේ ය.

තම ඉල්ලීම්වලට ආණ්ඩුව සාධනීය ප්‍රතිචාරයක් දක්වා ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරැදි තැනකට ගෙන ඒමට නොහැකි වුවහොත් මෙම 21 වන දායින් පසු නොපැකිළිවම දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යෑමට සිදුවන බවත් හෙතෙම පැවසීය.

හැත්තෑ දෙලක්ෂයක් පමණ වන විදුලි පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් නොකර මේ ප්‍රශ්නය ගොඩින් බේරා ගන්නා ලෙසට වෘත්තීය සමිති නියෝජිතයෝ රජයට අනතුරු ඇඟ වූහ

Search