පොහොර ආනයනය පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලැස්මක්

පොහොර ආනයනය පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලැස්මක්

පොහොර ආනයනය සහ සැපයුම් ජාලය පෞද්ගලීකරණය කිරීමේ රහසිගත සැලැස්මක් සූක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකස්කර ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා හෙළි කරයි.


ජාතික පොහොර ලේකම් කාර්යාලය, ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම රටට අවශ්‍ය පොහොර තොග ආනයනය කර රටපුරා බෙදා හැරීම සිදු කළ බවත් ඉදිරි මාස් කන්නය සඳහා මෙතෙක් පොහොර ආනයනය කිරීමට ආණ්ඩුව මෙතෙක් අවසර නොදීම මෙම ආයතන වසා දැමීමේ කූට සැලැස්මේ මූලික පියවර දැයි ප්‍රශ්න කරන බවත් හෙතෙම කීවේය.

පොහොර ආනයනය තෝරාගත් මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට දී ආණ්ඩුව අතපිහදා ගැනීම සමස්ත ගොවීන් කබලෙන් ළිපට ඇද දැමීමක් බවත් පොහොර ඒකාධිකාරිය සම්පූර්ණයෙන්ම පෞද්ගලික අංශයට පැවැරීම මෙරට මිල පාලනයෙන් ගිලිහී ගොවිතැන වළපල්ලට ඇදදැමීමේ ප්‍රයත්නයක් බවත් හෙතෙම කීවේය.

යූරියා මෙට්‍රික් ටොන් 01 ක් ඇමරිකන් ඩොලර් 280-300 පමණ වන බවද වර්තමානයේ මෙරට වෙළෙඳපළේ යූරියා කිලෝ 50ක් රුපියල් 10000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ද හෙතෙම පැවැසීය. පොහොර ආනයනය, සැපයුම් ජාලය පෞද්ගලීකරණයෙන් පොහොර මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට ද හෙතෙම අනතුරු අඟවයි.

වාර්ෂිකව මාස් කන්නයේදී හෙක්ටයාර් 850000 ද, යල කන්නයේ හෙක්ටයාර් 450000 ක ද වී වගා කෙරෙන අතර අක්කර ලක්ෂයක එළවළු වගාව සුළු, මධ්‍යම සහ මහා පරිමාණ මට්ටමින් සිදු කෙරෙයි. ගොවි පවුල් විසි දහසකට ආසන්න සංඛ්‍යාවක් වී, එළවළු වගා කරන බව පැවැසූ අනුරාධ තෙන්නකෝන් මහතා “පොහොර ඒකාධිකාරය පෞද්ගලීකරණය කිරීමේ ආණ්ඩුවේ රහසිගත සැලැස්ම පරාජය කිරීමට සමස්ත ගොවීන් එක් රොක් වනවා” යැයි ද කීවේය.

Search