දරුවන් විනයානුකූලව ගොඩනැගීමට ගුරුවරුන්ට හා දෙමවුපියන්ට ඇති අවකාශය නැති කරන අණපනත් එපා!!... විමල්ගෙන් හරිනිට චෝදනා

 දරුවන් විනයානුකූලව ගොඩනැගීමට ගුරුවරුන්ට හා දෙමවුපියන්ට ඇති අවකාශය නැති කරන අණපනත් එපා!!... විමල්ගෙන් හරිනිට චෝදනා

දරුවන් විනයානුකූලව ගොඩනැගීමට ගුරුවරුන්ට හා දෙමවුපියන්ට ඇති අවකාශය නැති කරන අණපනත් ආණ්ඩුව විසින් සම්මත කිරීමට කටයුතු කරමින් සිටින බවට ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අද (29) චෝදනා කළේය.


ජාතික නිදහස් පෙරමුණේ බත්තරමුල්ල කාර්යාලයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, මෙම ක්‍රියාමාර්ගයේ අවසන් ප්‍රතිඵලය වන්නේ ශක්තිමත් පවුල් ඒකකය සීසීකඩ විසුරුවා හැරීම බවයි.

ඒ මහතාගේ ප්‍රධාන චෝදනාව වූයේ, මෙම නීති මගින් පවුල් සම්බන්ධතා නැතිකොට, දරුවන්, දෙමාපියන් සහ ගුරුවරුන් අතර ඇති මානුෂීය සම්බන්ධතා බිඳ දමා, අවසානයේදී “ඔත්පල වූ මානසිකත්වයකින් යුතු විකෘති සමාජයක්” බිහි කිරීමේ අරමුණක් තිබෙන බවයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, මෙම නව නීති සම්පාදනය මගින්, වයස අවුරුදු 16 වන විට දරුවාට ලිංගික ක්‍රියාකාරකම් සඳහා නිදහස ලබා දීමට ඉඩ සැලසීම, LGBTQ පන්නයේ ලිංගික ප්‍රවණතා ප්‍රවර්ධනය වීම සහ මත්ද්‍රව්‍ය ව්‍යාපෘති සහ ගණිකා ව්‍යාපාරය වැනි පහසුවෙන් මුදල් හරි හම්බ කිරීමේ ව්‍යාපෘති සඳහා උත්තේජන සපයන නීතිමය වටපිටාවක් බිහිවීම සිදුවන බවයි.

මෙම ප්‍රතිපත්ති කරපින්නාගෙන හරිනි අමරසූරියලා හා පෝල්රාජ්ලා අපේ රටේ සමාජය විපරීත කරන්නට උත්සාහ කළත්, වත්මන් බටහිර සමාජය තුළම ඊට එරෙහිව සටනක් ආරම්භ වී ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එහිදි ඔහු උදාහරණ ලෙස ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ස්ථාවරය පෙන්වා දුන්නේය. ට්‍රම්ප් ජනාධිපතිවරයා දිවුරුම් දීමේදී “මේ රටේ ඉන්නේ ගැහැණු සහ පිරිමි” විතරයි කියා අවධාරණය කිරීම, ඇමරිකානු සමාජයේ LGBTQ ප්‍රවණතාවන්ට බරපතළ අතුල් පහරක් දීමට ගත් උත්සාහයක් බව හෙතෙම කියා සිටියේය.

අලුතින් නීතිරීති හා අණපනත් ගෙන ඒමට පෙර දැනට තිබෙන නීති ප්‍රමාණවත් බවද අවධාරණය කළ ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දරුවන්ට අසාධාරණයක් වුවහොත් ඒ ගැන පැමිණිලි කිරීමට හොඳ “ඔම්බුඩ්ස්මන්” පදවියක් දැන් තිබෙන නීතිය අනුව කලාප කාර්යාලවලට පවා පත් කළ හැකි බවයි.

දරුවන්ගේ මානසික පීඩනයට හේතුව ගුරුවරුන් හෝ දෙමාපියන් නොව, “කට පාඩම් කිරීමේ සංස්කෘතියට අනුව ගොඩනැගුණු අධ්‍යාපන ක්‍රමය” බවටද ඔහු චෝදනා කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෙනස්කම් නොකර, නීති මගින් ගුරුවරුන්ගේ හා දෙමව්පියන්ගේ අත් පා බැඳ දැමුවහොත්, අනාගතයේදී “ටීචර් දැන් අපට ගහන්න බනින්න එපා, අපි නීතියෙන් ඇක්ෂන් ගන්නවා” යැයි ගුරුවරුන්ට ඔලොක්කු කරන දරුවන්ගේ පරම්පරාවක් බිහිවන දිනය වැඩි ඈතක නොවන බවටද ඒ මහතා අනතුරු අඟවා සිටියේය.

Search