ශ්‍රී ලංකාවේ විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී නොගැලපෙන ස්වභාවයක් දක්නට ලැබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ 2025 වසරට අදාළ වාර්තාවේ දැක්වෙන අතර, ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය රට 2028 වසරේදී බරපතල විදේශ ණය අර්බුදයක් කරා ගෙන යනු ඇති බවයි.
අදාළ වාර්තාව පිළිබඳව අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂකයකු පවසා සිටියේ, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම නිවේදනය අතිශය බරපතල බවත්, එය විදෙස් ආයෝජකයන් ශ්‍රී ලංකාවට පැමිණීම අධෛර්යමත් කරන බවත්ය.
රාජ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවේ දැක්වෙන ප්‍රධාන ගැටලු ලෙස ඔහු මෙසේ සඳහන් කර සිටියේ ය.
ජාතික ජන බලවේග ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කළද, ඔවුන්ගේ අතීතයේ සිට පැවත එන බටහිර විරෝධී, මාක්ස්වාදී බලපෑම් සහිත මතවාද හේතුවෙන් ආයෝජකයින් බොහෝ දෙනෙක් අවිනිශ්චිත බවකින් පසුවෙන බව, විදේශ ආයෝජන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ස්ථාවර නොවන ස්වභාවයක් දක්නට ලැබෙන අතර, ආයෝජන මණ්ඩලය සමඟ ස්ථාවර හා විවෘත සංවාදයක් පවත්වා ගැනීම අභියෝගයක් වී ඇති බව, නව පරිපාලනය යටතේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම් අඩු වුවද, වරප්‍රසාද ලත් කණ්ඩායම් විසින් ආරක්ෂා කරන ලද අංශ තුළ ආයතනික දූෂණය දිගටම පවතින බව, ඉන්දියාවේ අදානි සමාගම මෙරට උතුරු පළාතේ ඩොලර් මිලියන 400ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියකින් ඉවත්වීම වැනි සිදුවීම් වාර්තා වී තිබීම සහ ඊට හේතුව ලෙස පෙර ප්‍රදානය කළ කොන්ත්‍රාත්තුවක් නැවත සාකච්ඡා කිරීමට වත්මන් රජය උත්සාහ දැරීම වැනි බහුවිධ කරුණු රැසක් අදාළ වාර්තාවේ ඇතුලත් ය.
එසේම පෞද්ගලික අංශය ප්‍රමුඛ ආර්ථිකය විවේචනය කරන අතර, රාජ්‍ය අයිතිය සහිත සාමූහිකත්වය රටේ ප්‍රියතම ආයෝජන ආකෘතිය ලෙස ප්‍රසිද්ධියේ ප්‍රවර්ධනය කිරීමද ආයෝජකයන් අධෛර්යමත් කිරීමට බලපායි.
ඒ අනුව ආර්ථික විශ්ලේෂකයා පෙන්වා දෙන්නේ, ආයෝජන ගලා ඒමකින් තොරව ආර්ථිකය මේ ආකාරයට ඉදිරියට ගියහොත්, 2028දී ගෙවීම් ඇරඹීමට තිබෙන විදෙස් ණය ගෙවීම අර්බුදයට යන බවයි.
2028 වසරේදී පමණක් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5කට අධික විදෙස් ණය ප්‍රමාණයක් ගෙවීමට තිබෙන අතර වර්තමානයේ එය බරපතල ලෙස නොදැනෙන්නේ විදෙස් ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා බවද ඔහු පවසයි.
එබැවින් ඉදිරි දෙවසර තුළ ප්‍රමාණවත් විදේශ සංචිත වර්ධනය කර නොගතහොත්, යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිහිට පැතීමට සිදුවනු ඇති අතර, එහිදී පවතින IMF කොන්දේසි වලට වඩා දැඩි කොන්දේසි වලට යටත්වීමේ අවදානමක් ඇති බව ඒ මහතා අවධාරණය කරයි.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මෙම ප්‍රකාශය, රටේ ඉදිරි ආර්ථික අභියෝගයන් පිළිබඳව රාජ්‍ය පාලකයන්ගේ දැඩි අවධානය යොමු විය යුතු බවට කරන බරපතල අනතුරු ඇඟවීමක් බවද විශ්ලේෂකයා වැඩිදුරටත් සඳහන් කළේය