රාජගිරිය අනතුර ගැන පාඨලීගේ රිට් පෙත්සමට නියෝගයක්

රාජගිරිය අනතුර ගැන පාඨලීගේ රිට් පෙත්සමට නියෝගයක්

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා බරපතල රිය අනතුරක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සමක්, නොවැම්බර් මස 24 වන දින විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය විසින් ඊයේ (29) නියම කළා.


නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ තමන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාඨලී චම්පික රණවක මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

ඊයේ දින මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ෆ්‍රැන්ක් ගුණවර්ධන මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී, පාඨලී චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමරසිරි පණ්ඩිතරත්න මහතා විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා, අදාළ පෙත්සම විභාගය සඳහා නොවැම්බර් මස 24 වන දින කැඳවීමට නියෝග කළා.

2016 පෙබරවාරි 28 වන දින රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට  එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබුණා.

පෙත්සම්කරු කියා සිටින්නේ, එම අධිචෝදනා ගොනු කර ඇති ආකාරය නීතියට පටහැනි බවයි.

එම අධිචෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස සිය නීතිඥවරු මූලික විරෝධතා මතු කළද, ඒවා ප්‍රතික්ෂේප කළ කොළඹ මහාධිකරණය අදාළ නඩුව විභාගයට ගැනීමට නියම කළ බවද පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණයේ එම තීරණය නීතියට පටහැනි බවට තීන්දු කොට, එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාඨලී චම්පික රණවක මහතා විසින් අභියාචනාධිකරණය හමුවට පැමිණ මෙම රිට් පෙත්සම ඉදිරිපත් කර තිබුණා

Search