මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත – මීරිගම කොටස ඉදිකිරීම සඳහා චීන EXIM බැංකුවෙන් ලබා ගැනීමට අපේක්ෂිත ඩොලර් මිලියන 500ක ණය මුදල සඳහා වන පොලී අනුපාතය 3.5%ක් දක්වා වැඩිවීමෙන් බරපතල අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ නිලධාරීහු, කිලෝමීටර් 36.475ක් දිගු කඩවත-මීරිගම කොටස නිම කිරීම සඳහා චීනයේ EXIM බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණය මුදලක් සහ ඉතිරි මුදල දේශීයව ලබා ගැනීමට අපේක්ෂා කරන බව පැවසූහ.
එහිදී සභාපතිවරයා ප්‍රශ්න කර සිටියේ, චීනයේ EXIM බැංකුවෙන් ලබාගන්නා ණය මුදල සඳහා ස්ථාවර පොලී අනුපාතය 2.5%ක් වූ නමුත් එම පොලී අනුපාතය 3.5%ක් වූ පරාසය සඳහා එකඟවුයේ ඇයිද යන්නයි.
ඊට පිළිතුරු දුන් නිලධාරීන් කියා සිටියේ, පවත්නා මිල ගණන් යටතේ 2.5%ක පොලී අනුපාතයට ණය ලබාදීමට එම බැංකුව එකඟ නොවූ බවත්, ඒ අනුව විචල්‍ය පොලි අනුපාතය මත 3.5%ක් වූ උපරිම පොලී අනුපාතයකට එකඟ වී ඇති බවත්ය.
කෙසේ වෙතත්, මෙම පොලී අනුපාතය නැවත සලකා බැලිය යුතු බවත්, මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට අවාසිදායක බවත් සභාපතිවරයා පැවසුවේය.
මේ අතර, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා ලබාගෙන ඇති ණය මුදලින් කොටසක් පියවීමට අදාළ 2025 වර්ෂය සඳහා වන පරිපූරක ඇස්තමේන්තු කාරක සභාවේදී සලකා බැලීමෙන් පසු අනුමත කරන ලදී.
අමාත්‍යාංශ නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නේ, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දේශීය බැංකුවලින් ලබාගෙන ඇති මුළු ණය ප්‍රමාණය 2025.07.31 වන දින වන විට රුපියල් බිලියන 310කට අධික බවයි.
ඒ අනුව, එම ණය මුදල් ගෙවීමට අවශ්‍ය, අයවැය තුළ වෙන් කර ඇති රුපියල් බිලියන 36ක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනුමතිය මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් අපේක්ෂා කරන බව නිලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ