පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ මහ මොළකරු හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ( 08) වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාව හමුවේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් කළ විමසීමකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා ඇත.
වාර්තා වන ආකාරයට රවී සෙනෙවිරත්න ගේ ලේකම් ධුරය ස්ථීර කිරීම සම්බන්ධයෙන් කමිටුව තුළ සාකච්ඡා වෙමින් තිබූ මොහොතක මෙම ප්‍රකාශය සිදු වී තිබේ.
කමිටුව රැස් වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චමින්ද්‍රිනී කිරිඇල්ල සහ දයාසිරි ජයසේකර විසින් රවී සෙනෙවිරත්න ට එරෙහිව ඇති චෝදනා කිහිපයක් පිළිබඳව කරුණු මතු කළ නමුත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාම් කාරියප්පර් පෙන්වාහී ඇත්තේ එම චෝදනා ශක්තිමත් නොවන බවයි.
සෙනෙවිරත්න මහතා පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බව මුල සිටම ප්‍රකාශ කළ පුද්ගලයා වීම නිසා ඔහු පිළිබඳ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ ගෞරවයක් ඇති බවද එහිදී හෙළිව තිබේ.
සෙනෙවිරත්න මහතා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා අතර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති රථවාහන නඩුවක්, විභාගයට නොගෙන ඉවත් කළ මූලික අයිතිවාසිකම් නඩුවක් සහ තවමත් විභාගයට නොගත් මූලික අයිතිවාසිකම් නඩුවක් පිළිබඳවද මෙහිදි සාකච්ඡා වී තිබේ.
දයාසිරි ජයසේකර මන්ත‍්‍රීවරයා විසින් රථවාහන නඩුව පිළිබඳව චෝදනා එල්ල කළ අවස්ථාවේදී, කාරියප්පර් මන්ත‍්‍රීවරයා පැවසුවේ එය සමථයට පත් කළ හැකි නඩුවක් බවත්, වරදකරු විය නොහැකි බවත්ය. ඊට ඇමති බිමල් රත්නායකද ඊට එකඟතාවය පළ කර ඇත.
චෝදනා ප්‍රතික්ෂේප වීමෙන් පසු, සෙනෙවිරත්න මහතා කමිටුව ඉදිරියට කැඳවා ප්‍රශ්න කර ඇති අතර, එහිදී කාරියප්පර් මන්ත‍්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්න කිරීමේදී සෙනවිරත්න මහතා විසින් දැනටමත් අත්අඩංගුවට ගැනීම් ගණනාවක් සිදුවී ඇති බවත්, ප්‍රහාරයෙන් පසු කටයුතු කළ ආකාරය පිළිබඳ සාක්ෂි මත බොහෝ දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් කර ඇත. එසේම, ප්‍රහාරය සැලසුම් කිරීමට සම්බන්ධ පිරිස් දැන් අත්අඩංගුවට ගනිමින් සිටින බවත්, එම කරුණු අතරතුර ඔහු තවදුරටත් කියා ඇත්තේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවයි