විදුලි බිල 10%කින් අඩු කිරීමට හැකියාව පවතිද්දී 6.8%කින් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත්, ඊට එරෙහිව, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර අධිකරණ ක්‍රියාමාර්ග වෙතද පිවිසෙන බවට විදුලි වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි.
මිල වැඩි කිරීමට අදාළව, විදුලි බලමණ්ඩලය විසින් පෙන්වා දී ඇති දත්ත වාර්තා අසත්‍ය බව, මහජන උපයෝගීතා කොමිසම විසින් පෙන්වා දී ඇතැයි ද, සමගි බලශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු, ආනන්ද පාලිත මහතා ‘දිවයින’ට ඊයේ (10දා) සඳහන් කළේය.
පසුගිය මාස 03ක කාලයට පමණක්, විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 15ක ලාභයක් ලබා ඇති බැවින්, කිසිදු විගණනයකින් තොරව විදුලි පාරිභෝගිකයාට මිල වැඩි කිරීම මහජන මුදල් වංචාවකට අරඇඳීමක් බවද හෙතෙම සඳහන් කළේය.
“රජය මේ කරන්න යන්නේ විදේශිකයන්ගෙන් ලබාගෙන ඇති ණය ගෙවන්න රටේ ජනතාවගෙන් අසාධාරණ ලෙස මුදල් එකතු කිරීමක්. විදුලි බලමණ්ඩලයේ ඉන්ධන ණය, සමස්ත වාර්තා ගැන නිවැරදි විගණන තොරතුරු නැහැ. එවන් තත්ත්වයක් තුළ අනීතිකව විදුලි බිල වැඩි කිරීමට යන්න බැහැ.
පසුගිය ලාභාංශ අනුව අද 10%කින් විදුලි බිල අඩුවිය යුතුයි. 2023 සිට හතරවතාවක් විදුලි බිල වැඩි කර තිබෙනවා.
එසේ විදුලි බිල වැඩිකිරීමට ක්‍රියාකර ඇත්තේ වංචනික කාලගුණ වාර්තා අනුව එදා මෙයට විරුද්ධ වුණු පිරිස, අද ආණ්ඩුවේ පාලකයෝ. මේ අනීතික විදුලි බිල වැඩි කිරීම සිදු කළහොත් අපි අනිවාර්යයෙන්ම අධිකරණයට පිවිසෙනවා” යැයිද ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් පැවසීය