රන්ජන් ජයලාල්ට චම්පිකට මිලියනයක් වන්දි ගෙවන්න නියෝග !

 රන්ජන් ජයලාල්ට චම්පිකට මිලියනයක් වන්දි ගෙවන්න නියෝග !

කඩුවෙල නගරාධිපති රන්ජන් ජයලාල්ට එරෙහිව හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක විසින් ගොනු කරන ලද දීර්ඝකාලීන සිවිල් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කර ඇත.


වසර දහතුනක් පමණ කාලයක් තිස්සේ අධිකරණය හමුවේ විභාග වූ මෙම නඩුව සම්බන්ධයෙන් අද (10) තීන්දුව ලබා දී ඇති අතර, එහිදී රන්ජන් ජයලාල් වරදකරු බවට අධිකරණය තීරණය කර තිබේ.

තීන්දුව සම්බන්ධයෙන් අද දින පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ, රන්ජන් ජයලාල් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී අසත්‍ය ප්‍රකාශ කරමින් මහජනතාව නොමඟ යැවූ බවට අධිකරණය විසින් තීරණය කර ඇති බවයි.

මෙම නඩුකරය සඳහා පාදක වී ඇත්තේ, පාඨලි චම්පික රණවක අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ කතරගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් වෙත රුපියල් 80,000ක මුදලක් වියදම් කරමින් කොළඹ සිට ඇඳක් ගෙන ගිය බවට රන්ජන් ජයලාල් සහ තවත් මාධ්‍ය කිහිපයක් විසින් සිදු කරන ලද ප්‍රවෘත්ති ප්‍රකාශයකි.

අදාළ සිවිල් නඩුවේදී රන්ජන් ජයලාල් වරදකරු බවට තීරණය කළ අධිකරණය, පැමිණිලිකාර හිටපු අමාත්‍ය චම්පික රණවක වෙත වන්දි මුදල් ගෙවන ලෙසට නියෝග කර ඇත.

මෙම නඩු තීන්දුව සහ නඩුකරයේ පසුබිම පිළිබඳව සියලු තොරතුරු හිටපු අමාත්‍ය චම්පික රණවක විසින් අද දින මාධ්‍ය හමුවේදී හෙළි කරන ලදී

Search