කොළඹ, ගාල්ල, මහනුවර ඇතුළු රෝහල් 25ක මගඩි එළියට

කොළඹ, ගාල්ල, මහනුවර ඇතුළු රෝහල් 25ක මගඩි එළියට

කොළඹ, ගාල්ල, මහනුවර ඇතුළු ප්‍රධාන පෙළේ රජයේ රෝහල් 25ක පසුගිය විගණන වර්ෂයේ සිදුව ඇති දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධ කරුණු රැසක් අනාවරණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.


අදාළ දූෂණ, වංචා, අක්‍රමිකතා මෙන්ම මූල්‍ය සහ පරිපාලන චෝදනා රැසක් සම්බන්ධයෙන් ද විගණන කාර්යාලය සාක්ෂි ඉදිරිපත් කර තිබියදී සෞඛ්‍ය අමාත්‍යාංශය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම පරීක්ෂණයක් පැවැත්විය යුතු බව අදාළ වාර්තා උපුටා දක්වමින් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

කොළඹ ජාතික රෝහල, මහනුවර, කරාපිටිය හා මහමෝදර ජාතික රෝහල්, ශ්‍රී ජයවර්ධනපුර, බදුල්ල ශික්ෂණ රෝහල්, සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහල, හලාවත මහ රෝහල, පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල, ගම්පොළ ශික්ෂණ රෝහල, හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල, ඇඹිලිපිටිය මහ රෝහල යන රෝහල් තුළ සිදුව ඇති අදාළ දූෂණ, වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණන වාර්තාව කරුණු අනාවරණය කර තිබේ.

මෙයට අමතරව කුරුණෑගල ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය, කල්මුණේ අශ්රොෆ් රෝහල, කෑගල්ල ශික්ෂණ රෝහල, කුලියාපිටිය ශික්ෂණ රෝහල, කළුතර නාගොඩ රෝහල සහ රාගම ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් රැසක ද මූල්‍ය හා පරිපාලන චෝදනා සම්බන්ධයෙන් විගණන වාර්තාව සාක්ෂි ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන අවභාවිතය ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් ද ජාතික විගණන කාර්යාලය සිය නවතම වාර්තාව මගින් චෝදනා කර ඇති බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි

Search