සැඟවූ අයථා වත්කම් අල්ලන්න පොලිස් මෙහෙයුම අරඹයි

සැඟවූ අයථා වත්කම් අල්ලන්න පොලිස් මෙහෙයුම අරඹයි

නීති විරෝධී අන්දමින් ඕනෑම පුද්ගලයකු උපයාගෙන මෙරට හෝ විදේශ රටවල සඟවා ඇති සියලුම දේපළ අත්පත් කරගෙන ඒවා රාජසන්තක කිරීම පොලිස් මූලස්ථානය මගින් ඊයේ (20 වැනිදා) අලුතින් ස්ථාපිත කළ පීසීඅයිඩී (PCID) පොලිස් කොට්ඨාසය මගින් ආරම්භ කළ බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.


2025 අංක 05 දරන අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනතේ විධි විධාන ප්‍රකාරව විමර්ශන කටයුතු සඳහා අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාසය (PCID) හරහා මින් ඉදිරියට ක්‍රියාත්මක කරන බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම විශේෂ කොට්ඨාසය මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය, ලේකම් රවි සෙනෙවිරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේදී ඊයේ සුබ මොහොතින් විවෘත කෙරිණි.

මෙහිදී මාධ්‍ය සහ පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ඇමතූ පොලිස්පතිවරයා මෙසේ ද පැවසීය.

මේ පනත වැඩිම නීතිමය බලයක් තිබෙන පනතක්. නීතියේ තිබෙන යම් යම් හිඩැස් නිසා ඇතැම් අපරාධ විමර්ශනයේදී සහ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමේදී ගැටලු මතුවී තිබෙනවා. එහෙත් මේ නව පනත යටතේ අපරාධකාරයන්ට දඬුවම් කිරීම නීති විරෝධී වත්කම් අත්පත් කරගැනීම ඒවා රාජසන්තක කිරීමට විශාල බලයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව නීති විරෝධී ආකාරයට ඍජුව හෝ වක්‍රව උපයා ගන්නා ඕනෑම දේපළක් විමර්ශනය කර ඒවා තහනම් කිරීමේ බලය මේ පනත හරහා ලැබෙනවා. නඩු විභාගයකින් අනතුරුව නීති විරෝධී ආකාරයට උපයාගත් දේපළ රාජසන්තක කිරීමට මේ පනත හරහා බලය ලැබෙනවා.

නීති විරෝධී අන්දමින් උපයාගත් දේපළ ඇතැම් දූෂිත පුද්ගලයන් විදේශ රටවල සඟවා තිබෙනවා. ඒ ආකාරයට විදේශ රටවල සඟවා තිබෙන දේපළ පවා අත්පත් කරගෙන ඒවා රාජසන්තක කිරීමේ බලය නව පනත හරහා ලැබෙනවා.

ඒ වගේම මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන පී.සී.අයි.ඩී. පොලිස් කොට්ඨාසයට දක්ෂ පළපුරුදු නිලධාරීන් විශාල පිරිසක් කඩිනමින් බඳවා ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම එසේ බඳවා ගන්නා නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට ද අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන යනවා. ඒ සඳහා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කර පී.සී.අයි.ඩී. නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු කරගෙන යනවා.

මේ නව පොලිස් කොට්ඨාසයේ නිලධාරීන්ට විශේෂ බලයක් හිමි වෙනවා. ඒ නිලධාරීන්ගෙන් මම ඉල්ලීමක් කරනවා. එසේ ලැබෙන බලය අවභාවිත කරන්න එපා කියලා යැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා කියා සිටියේ අපරාධයකින් ලැබෙන දඬුවම සමාජය දැනගත යුතු බවත් එසේ දැනීමෙන් මහජනතාව තුළ ලොකු බලපෑමක් කර අපරාධ අඩුවීමට එය බලපාන බවත්ය.

මේ නව පනත යටතේ සංවිධානාත්මක අපරාධ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කර එම අපරාධ අවම කිරීමට හැකිවන බවද විජේපාල මහතා කියා සිටියේය

Search