භාණ්ඩාගාරය සල්ලිවලින් පිරුණා යැයි කිව්වට ජනතාවට අවශ්‍ය බෙහෙත් ටිකවත් දී ගන්න මේ රජයට බැහැ – විපක්ෂ නායක

භාණ්ඩාගාරය සල්ලිවලින් පිරුණා යැයි කිව්වට ජනතාවට අවශ්‍ය බෙහෙත් ටිකවත් දී ගන්න මේ රජයට බැහැ – විපක්ෂ නායක

සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ සහ සෙසු පක්ෂවල දැක්ම වෙනස් බවත් සමගි ජන බලවේගය දකින ආකාරයට සෞඛ්‍ය මූලික හා මානව අයිතියක් විය යුතු බවත් සමස්ත සෞඛ්‍ය යන පද්ධතිය තුළ ප්‍රතිකාර හා නිවාරණ පද්ධති යන පද්ධති දෙකේම භෞතික හා මානව සම්පත් හි අඩුපාඩු රැසක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

තවද තමා පසුගිය දා ඉන්දියාවේ සිදු කළ සංචාරය අතරතුර එරට සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවූ අවස්ථාවේ 1990 සුවසැරිය සේවාවට ස්තූතිවන්ත වී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉල්ලීම් රැසක් සිදු කළ බවත් විපක්ෂ නායකවරයා පවසා සිටියේ.

රෝහල් පද්ධතියේ සිටින ජනතාව මුහුණ දෙන බරපතළ ගැටලු දෙස බලන විට වෛද්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් ක්ෂේත්‍රය රැකගත යුතු බවත් සෞඛ්‍ය පද්ධතියේ කුඩා තැන සිට ඉහළම තැන දක්වා බරපතල මානව සම්පත් හිඟයක් ඇති බවත් බරපතල බුද්ධි ගලනයක් ඇති බවත් එක් වෛද්‍යවරයකු මන්නාරම කිලිනොච්චිය මුලතිව් හා වව්නියාව ආවරණය කරනවා කියන ගැටලු ඇති බවත් මේ බුද්ධි ගලනය වෙනුවට බුද්ධිය රඳවා ගැනීමට ගත යුතු පියවරයන් යථතාර්ථවාදීව ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අයවැය හරහා පහසුකම් රැසක් ලබා දිය හැකි බවත් නිදහස් සෞඛ්‍ය තුළ පිටතින් බෙහෙත් ගැනීම සිදු නොවිය යුතු බවත් ලෝකයටම ආඩම්බරයක් විය හැකි විශිෂ්ට සෞඛ්‍ය පද්ධතියක් ඇති නිසා එය රැකගත යුතු බවත් මේ විශිෂ්ටත්වයේ සන්නාමකරුවන් වන්නේ දේශපාලනඥයන් නොව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින අය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් සමග පැවැති හමුවකදී ය.

පසුගිය දින පුරාම රජය භාණ්ඩාගාරය පිරි ඉතිරි ගිය බව කිව්වත් එම මුදල් නිදහස් සෞඛ්‍ය හා නිදහස් අධ්‍යාපනය වැය කරන්න යොදා නොගන්නා බවත් වත්මන් රජය IMF ඉලක්ක පසුකර බදු බර වැඩි කර ඇති බවත් මේවා කියන්න සමහර අය බිය වී ඇත්තේ රජය මෙන් ඔවුන් ද IMF එකේ වහලුන් වී නිසා බවත් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු ආදායම 15%ක් නඩත්තු කළ යුතු වුවත් මෙ රජය එය 15.9% කරා ගොස් ඇති බවත් මේ යථාර්ථය ජනතාවට නොතේරෙන බවත් මොවුන් මුදල් ඉතිරි කර ඇත්තේ බදු ගසා හෝ මුදල් වියදම් නොකර බවත් මේවා වීර ක්‍රියා නොවන බවත් මේ මෝඩකම්වලට අත්පුඩි ගැසිම නිසා 2022 රට බංකොලොත් වු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම Primary balance එක කියන ප්‍රමාණයට වැඩි වීමටත් අත්පුඩි ගහන බවත් රටේ ටාගට් එක වන්නේ 2.3 වුවත් දැන් 3.8 බවත් මේවා ජනතාව දන්නේ නැති බවත් මේ නිසා බිලියන 479ක් ඉතිරි බවත් මෙරට වෛද්‍යවරුන් රට අතහැර යන විට එය නතර කරන්න රජය කටයුතු නොකරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ ඛේදවාචක ගැන ජනතාව දැනුවත් කළ යුතු බවත් රටේ ජීවිත බේරා ගන්න වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් සුරැකිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Search