බිලියන 29යේ සෞඛ්‍ය ව්‍යාපෘති 17කට බිලියන 58ක් බිලි

බිලියන 29යේ සෞඛ්‍ය ව්‍යාපෘති 17කට බිලියන 58ක් බිලි


සෞඛ්‍ය අමාත්‍යාංශයේ ව්‍යාපෘති 17ක් නිසි කලට නිම නොකිරීම නිසා රුපියල් බිලියන 29කින් අවසන් කිරීමට තිබූ වැඩවලට එය මෙන් දෙගුණයක් හෙවත් රුපියල් බිලියන 58ක් වියදම් කිරීමට සිදුව ඇතැයි සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසයි.

කොවිඩ් වයිරසයට මුවා වී ප්‍රමාදයට නිදහසට කරුණු කියාපෑව ද මෙය මහජන මුදල් නාස්ති කිරීමක් යැයි සෞඛ්‍ය ඇමතිවරයා අවධාරණය කළේ ය.

ඇමතිවරයා මෙම අදහස් පළ කළේ, අද (නොවැ. 25) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදීය.

එහිදී ඔහු මෙසේ ද කීය.

“අපේ ප්‍රතිපත්තිය වෙන්නේ විනිවිදභාවයක් සහිතව ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් කොන්ත්‍රාත් පිරිනැමීම. මේවාට වැයවෙන්නේ මහජන බදු මුදල්. අවම පිරිවැයකින් කළොත් තමයි ජනතාවට සාදාරණයක් වෙන්නේ. සෘජු කොන්ත්‍රාත් දුන්නොත් වියදම වැඩියි. රජයේ ඉදිකිරීම් ආයතනවලින් කරන්න ගියොත් වැඩිපුර කාලයක් ගතවෙනවා. ඇතැම් ආයතනවල වසර 12ක් 15ක් පරණ ව්‍යාපෘති තිබෙනවා. වැඩ කරගන්න පුළුවන් නිලදාරීන් අඩුයි. සේවකයන් පුරවලා. අපි මේ ආයතන පවත්වාගෙන යෑමට භාණ්ඩාගාරයෙන් වැඩි මුදලකුත් දෙනවා. ව්‍යාපෘතිය කෙරෙන්නෙත් නෑ. උදාහරණයක් කියන්නම්. ව්‍යාපෘති 17ක් සම්බන්ධයෙන් මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. 2012- 2014 කාලයේ . නියමිත කාලෙ කළා නම් රුපියල් බිලියන 29යි වැයවෙන්නේ. කොවිඩ්වලට වහන් වෙලා විවිධ දේ සාධාරනීකරණය කරගත්තත් අද වෙද්දී ඒවා සම්පූර්ණ කරන්න යනවා බිලියන 58ක්. ඒ කියන්නේ දෙගුණයක් වියදම දරන්න වෙලා. ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී රාජ්‍ය ආයතන වුණත් හැකියාව වර්ධනය කරගෙන ආ යුතුයි. එහෙම නැත්තන් ජනතාව මත බර පැටවෙන්නේ.

Search