හැරගිය 20 ක් යළි පොහොට්ටුවට

හැරගිය 20 ක් යළි පොහොට්ටුවට


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් ඇතුළු විස්සකට අධික සාමාජිකයන් පිරිසක් එළැඹෙන ජනවාරි මාසයේ සිට යළිත් එම පක්ෂය සමඟ එක්වීමට නියමිත බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා හෙළිදරව් කරයි.

තමන් අනිවාර්යයෙන්ම නැවත පොදුජන පෙරමුණට එක්වන බවත්, එම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා මේ වන විටත් පක්ෂයේ බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

මෙලෙස නැවත එක්වීමට අපේක්ෂා කරන පිරිස අතර පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ සහ චින්තක මායාදුන්නේ යන හිටපු අමාත්‍යවරුන් ද සිටින අතර, මෙම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා සමඟ නාරාහේන්පිට ප්‍රදේශයේදී විශේෂ සාකච්ඡාවක් ද පවත්වා තිබේ. රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරන පරිදි පසුගිය 21 වැනිදා පැවති විපක්ෂයේ ජන රැලිය සඳහා ද මෙම කණ්ඩායමේ බහුතරයක් සහභාගී වී ඇත.

තමන් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතික්ෂේප කර ඉන් ඉවත් නොවූ බව පවසන රෝහිත අබේගුණවර්ධන මහතා, පසුගිය මහ මැතිවරණයේදී 'සිලින්ඩරය' ලකුණින් තරග වැදුණේ පාර්ලිමේන්තු නියෝජනය තහවුරු කරගැනීමේ උපාය මාර්ගික පියවරක් ලෙස බව පෙන්වා දෙයි. කළුතර දිස්ත්‍රික්කයේ 'පොහොට්ටුව' ලකුණින් තරග කළ ලැයිස්තුවට වඩා 'සිලින්ඩරය' ලකුණින් තරග කළ කණ්ඩායම ප්‍රබල වූ බැවින්, මන්ත්‍රී ධුරය ආරක්ෂා කර ගැනීමට එම තීරණය ඉවහල් වූ බව ඔහු සඳහන් කළේය.


එමෙන්ම අතීතයේ දැඩි රාජපක්ෂ හිතවාදිනියකව සිට පසුව රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූ හිටපු අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද රෝහිත අබේගුණවර්ධන මහතාගේ මැදිහත්වීම මත යළි නාමල් රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම සමඟ එක්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ සහ නාමල් රාජපක්ෂ ප්‍රමුඛ සන්ධානයේ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ගවලට අනුකූලව මෙම නැවත එක්වීම සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ අතර මෙම දේශපාලන එකමුතුවීම තහවුරු කරමින්, කෝට්ටේ සෝලිස් හෝටල් පරිශ්‍රයේදී 'Voice of Health Professionals' සංසදය විසින් සංවිධානය කරන ලද විද්වත් සාකච්ඡාවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ද සහභාගී වී තිබේ. ඔහු එහිදී නාමල් රාජපක්ෂ සහ පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් සමඟ එකට එක්ව සිටීමෙන් පෙනී යන්නේ ඉදිරියේදී සිදුවීමට නියමිත දේශපාලන පෙරළියයි

Search