සජිත් සහ රනිල්ගේ කණ්ඩායම අතර සාකච්ඡා සාර්ථකයි : අලියා සහ දුරකථනය එකතු වීම රටේ අවශ්‍යතාවයක්” – මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර !

සජිත් සහ රනිල්ගේ කණ්ඩායම අතර සාකච්ඡා සාර්ථකයි : අලියා සහ දුරකථනය එකතු වීම රටේ අවශ්‍යතාවයක්” – මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර !


දීර්ඝ කාලයක් තිස්සේ වෙන්ව පැවති එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය නැවත එක්වීම සඳහා වන දේශපාලන සාකච්ඡා මේ වන විට ඉතා සාර්ථක මට්ටමින් සිදුවෙමින් පවතින බව සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂ නායක , හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත් කරන ලද විශේෂ නියෝජිත කණ්ඩායම අතර මෙම තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් මේ වන විටත් පවත්වා ඇති බවද මන්ත්‍රීවරයා හෙළි කළේය.

සමගි ජන බලවේගය වෙනුවෙන් මෙම සාකච්ඡා සඳහා එහි නායක සජිත් ප්‍රේමදාස සෘජුවම සහභාගී වන අතර, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ නම් කළ කණ්ඩායම ඊට සහභාගී වේ. මෙම සාකච්ඡා මේ වන විට ඉතා යහපත් සහ සුබවාදී මට්ටමක පවතින බව මහලේකම්වරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාරගතව සිටි අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පෞද්ගලිකවම ඒ මහතාගේ සුවදුක් සොයා බැලීමට කටයුතු කළ බවද රංජිත් මද්දුමබණ්ඩාර මන්ත‍්‍රීවරයා සිහිපත් කළේය.

එම දුෂ්කර අවස්ථාවේදී පක්ෂ දෙක අතර ගොඩනැගුණු මානුෂීය අවබෝධය මෙම දේශපාලන සමගියට ශක්තිමත් පදනමක් වී ඇත.

පක්ෂ දෙකේම පාක්ෂිකයන්ගේ මෙන්ම රටේ පොදු ජනතාවගේ ද ඉල්ලීම වී ඇත්තේ මෙම ප්‍රධාන පක්ෂ දෙක එක්වී රට පවතින අගාධයෙන් බේරා ගැනීම බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ මෙම සමගිය ඇති කර ගැනීම සියලු දෙනාගේ වගකීමක් බවත්, රට වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය කාලය පුරාම දෙපාර්ශවය අතර පැවති මතභේද ක්‍රමයෙන් දුරස් වී, පොදු අරමුණක් වෙනුවෙන් එකට වැඩ කිරීමේ එකඟතාවයක් කරා මේ වන විට දෙපාර්ශවයම ගමන් කරමින් සිටින බව රංජිත් මද්දුමබණ්ඩාර මහතා අවධාරණය කළේය.

Search