ශ්‍රී ලංකාවට යළි නැඟීසිටීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්.

ශ්‍රී ලංකාවට යළි නැඟීසිටීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්.

ශ්‍රී ලංකාවට යළි නැඟීසිටීමට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 450ක සහන පැකේජයක්

‘දිට්වා‘ සුළිකුණාටුවෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශ යළි ගොඩනැඟීම සඳහා ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි.

මෙම ප්‍රතිසංස්කරණ පැකේජයට ඇමරිකානු ඩොලර් මිලියන 350ක සහනදායී ණය සහ ඇමරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රදාන ඇතුළත් බව ආචාර්ය එස්. ජයශංකර් මහතා ඊයේ (23දා) ජනපති ලේකම් කාර්යාලයේ දී මෙරට විදේශ ඇමැති විජිත හේරත් මහතා සමග ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.

මෙම ආධාර මාර්ග, දුම්රිය සහ පාලම් ප්‍රතිසංස්කරණය කිරීම, සම්පූර්ණයෙන්ම විනාශ වූ සහ අර්ධ වශයෙන් හානි වූ නිවාස ඉදිකිරීම සඳහා විශේෂයෙන් සුළිකුණාටුවෙන් හානි වූ සෞඛ්‍ය හා අධ්‍යාපන පද්ධති සඳහා මෙන්ම කෘෂිකර්මාන්තය නැවත නඟාසිටුවීමට වැය කෙරෙනු ඇති බව ඉන්දීය විදේශ ඇමැතිවරයා සඳහන් කළේය. එසේම වඩා හොඳ ආපදා ප්‍රතිචාර දැක්වීම සහ ඒ සඳහා ඇති සූදානම වැඩි දියුණු කිරීමටත් ඉන්දීය ආධාර යොදාගනු ඇත.

එහිදී ඉන්දීය විදේශ ඇමැතිවරයා මෙසේද පැවසීය.

“ඔබ සැම දන්නා පරිදි මම මෙහි සිටින්නේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ විශේෂ නියෝජිතයකු ලෙසයි. එසේම ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහා විශේෂ පණිවිඩයක් රැගෙනය. අද උදෑසන ජනාධිපතිවරයා මා පිළිගැනීමට කාරුණික වූ අතර, දිට්වා සුළිකුණාටුවෙන් සිදු වූ හානිය පිළිබඳව අපි සවිස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්වූ වෙමු. ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 450ක ප්‍රතිසංස්කරණ පැකේජයක් ලබාදෙන අගමැති මෝදිගේ ලිපිය ජනපතිතුමාට භාර දුන්නෙමි. ඔබේ සමීපතම අසල්වැසියා ලෙස සහ අපගේ අසල්වැසියාට ප්‍රථම සහ මහා සාගර් ප්‍රතිපත්තිවලට අනුකූලව, ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවක ඉන්දියාව ඉදිරියට පැමිණීම ස්වාභාවිකය.

පසුගිය කාලයේ ඔබ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන විටත් අපි එසේ කර ඇත්තෙමු. දිට්වා සුළිකුණාටුව සම්බන්ධයෙන්, ඉන්දියාව ඉක්මනින්ම සහයෝගී ආපදා ප්‍රතිචාර දැක්වීම ඔබ අගය කරනු ඇත.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා පෙරේදා (22දා) පස්වරුවේ ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියේය. හෙතෙම ඊයේ සවස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය හමුවූ අතර ඊයේ පස්වරුවේ මෙරටින් පිටව ගියේය.

Search