දිට්වා’ නිසා ලංකාවට ඩොලර් බිලියන 4.1ක හානියක්

 දිට්වා’ නිසා ලංකාවට ඩොලර් බිලියන 4.1ක හානියක්

ඩොලර් මිලියන 689ක ලොකුම හානිය මහනුවරට

ජීවනෝපායන්, අත්‍යවශ්‍ය සේවා සහ ආර්ථිකයට බැට දී ලක්‍ෂ 20ක් දුකේ දමලා

පසුගිය නොවැම්බර් මාසය අගභාගයේ ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළිකුණාටුව හේතුවෙන් මෙරට ගොඩනැඟිලි හා ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය හා තීරණාත්මක යටිතල පහසුකම්වලට ඍජුව සිදුකර ඇති භෞතික හානිය ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් බවට ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත.

මේ බව ලෝක බැංකු සමූහය විසින් ප්‍රකාශයට පත් කරන ලද Global Rapid Post-Disaster Damage Estimation (GRADE) නම් නවතම වාර්තාවේ දැක්වේ.

ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙය ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 4ක ප්‍රමාණයකට සමාන වනු ඇති බවයි.

ඇස්තමේන්තුගත ඇමරිකානු ඩොලර් බිලියන 4.1ක් වූ ඍජු හානිය බලපෑමට ලක් වූ පළාත්වලට සැලකිය යුතු කම්පනයක් සිදුව ඇත. මධ්‍යම පළාතට වඩාත්ම බලපෑම් එල්ල වූ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ හානිය ඩොලර් මිලියන 689ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

එසේම මාර්ග, පාලම්, දුම්රිය මාර්ග හා ජල සම්පාදන පද්ධති ඇතුළු යටිතල පහසුකම්වලට වූ හානිය ඇමරිකානු ඩොලර් බිලියන 1.735 ක් ලෙස ගණනය කර ඇති අතර එය සමස්ත හානියෙන් සියයට 42ක ප්‍රමාණයක් බවට ද ඇස්තමේන්තු කර ඇත.

ලෝක බැංකුව පවසන පරිදි නේවාසික ගොඩනැඟිලිවලට මෙම ආපදාවෙන් සිදුව ඇති හානිය ඇමරිකානු ඩොලර් මිලියන 985කි.

මේ අතර වී, එළවළු, වෙනත් වාණිජ භෝග, පශු සම්පත් හා වෙනත් යටිතල පහසුකම් ඇතුළුව කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට සිදුවී ඇති මුළු හානිය ඇමරිකානු ඩොලර් මිලියන 814ක් ලෙස වාර්තා වේ.

මේ අතර රෝහල්, පාසල්, ව්‍යාපාරික ස්ථාන, මහා පරිමාණ කර්මාන්තශාලා ආදිය ඇතුළු නේවාසික නොවන ගොඩනැඟිලිවලට සිදුව ඇති හානිය ඇමරිකානු ඩොලර් මිලියන 562ක් ලෙස ද ලෝක බැංකුව ගණනය කර ඇත.

ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසයේ ඇති වූ දරුණුතම හා විනාශකාරීම සුළිකුණාටුව වන මෙය දිස්ත්‍රික්ක 25 පුරාම මිලියන 2කට ආසන්න ජනතාවකට සහ පවුල් 500,000කට ආසන්න සංඛ්‍යාවකට දැඩි ලෙස බලපෑම් එල්ල කර ඇත. ජීවනෝපායන්, අත්‍යවශ්‍ය සේවා සහ ආර්ථිකයට පුළුල් ලෙස බාධා ඇති කළ බව ද එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.

Search