ඇමැති ලාල්කාන්ත මහා සංඝරත්නයට අපහාස කිරීම තරයේ හෙළා දකිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ඇමැති ලාල්කාන්ත මහා සංඝරත්නයට අපහාස කිරීම තරයේ හෙළා දකිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ



කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග කැබිනට් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති පනත උල්ලංඝනය කරමින් බෞද්ධාගමට සහ මහා සංඝ රත්නයට අපහාස කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. විශේෂයෙන්ම පසුගියදා මිහින්තලය නායක හිමි වලවාහැංගුන වැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේට වනචාරියා ලෙස හඳුන්වමින් අපහාස කර ඇති බවත් මෙසේ බෞද්ධ නායකයකුට අපහාස කිරීම තමා තරයේ හෙළා දකින බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යාන්තර සම්මුති පනතෙහි “කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම්, නොකළ යුතුය”‍ ලෙස දක්වා ඇති අතර ලාල් කාන්ත මෙහිදී ආගමික ද්වේශය පතුරවා ඇති බව පෙනී යන බවත් පැවසූ රාජපක්ෂ මහතා නීතිය සැමට සමාන නම් බෞද්ධ නායකයින් ඉලක්ක කරගෙන සිදු කරන අපහාසයන් හා ආගමික ද්වේශය පැතිරවීම් ගැන මෙම පනතට අනුව ලාල්කාන්තට ගන්නා නෛතික ක්‍රියාමාර්ග මොනවාදැයි තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද කියාසිටියේය.

සාමාන්‍ය පුරවැසියෙකු හෝ විපක්ෂයේ කිසිවෙකු මෙසේ නීතිය කඩ කළා නම් මේ වන විටත් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් ලාල්කාන්ත ආගමික ද්වේශය පැතිරවීම හා මහා සංඝරත්නයට අපහාස කිරීම පිළිබඳව ආණ්ඩුව නිහඬ බවත් ඔහු පැවසීය. දේශපාලනඥයින් සහ මහා සංඝ රත්නය අතර විවිධ මතිමතාන්තර තිබුණද මෙරට ඉතිහාසයේ කිසිදු දේශපාලනඥයෙකු මේ ආකාරයෙන් මහා සංඝරත්නයට අපහාස සිදුකර නොමැති බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය

Search