විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කල අදහස් දැක්වීම.
ගාල්ල වරාය ආසන්න මුහුදු සීමාවේ ඉන්දීය සාගරය තුළ අනුමාන කළ හැකි ආකාරයට නාවුක සැතපුම් 40-44 දුරකින් පිහිටි ඉරාන නාවුක හමුදාවට අයත් නෞකාවට විදේශ රාජ්‍යයක මැදිහත්වීම හරහා ප්‍රහාරයක් එල්ල වී මුහුදුබත් වූ බවට විදේශ මාධ්‍ය වාර්තා කර ඇති අතර මෙහි දී මුහුදුබත් වූ නැවේ සිටි නාවිකයන් බේරා ගැනීමට ශ්‍රී ලංකා නාවුක හමුදාව කටයුතු කිරිම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුදකර සිටින බවත් මෙම ප්‍රහාරය සිදු වු නිශ්චිත ස්ථානය හෝ එය අප මුහුදු සීමාවට හෝ අනන්‍ය ආර්ථික කලාපයට සම්බන්ධද යන්න සහ රජය ගත් රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂිත පියවර ගැන මෙතෙක් නිල ප්‍රකාශයක් ඉදිරිපත් කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පැවසීය.
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර නීතිය අනුවත් ජාත්‍යන්තර මානව නීතිය ඇතුළු නීති අනුව රටක මුුහුදු සීමාවන් තුළ කටයුතු කළ ආකාරය දැක්වෙන බවත් රටේ සෛරීභාවය ඒ්කීය භාවය සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කිරීම රජයේ මෙන්ම පාර්ලිමේන්තුවේද යුතුකමක් බවත් මෙවැනි සංවේදී සිදුවීමක් රට ආසන්නයේ සිදුව තිබියදී සභාව දැනුවත් නොකිරීම මන්ත්‍රීවරුන්ගේ ව්‍යවස්ථානුකූල වගකීම ඉටු කිරිමට බාධාවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ 2.1 වගන්තියට අනුව සියලුම රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය හා සමානාත්මතාව සැම රටක්ම පිළිගත යුතු බවත් මෙවැනි අවස්ථාවල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සාගර නීතිය පිළිබඳ සම්මුතියේ 19 සහ 20 වැනි වගන්ති යටතේ දක්වා ඇති අතර ඒ අනුව යුද අභ්‍යාසවල නිරත වීම දේශිය ජල තීරයේ සබ්මැරීන් ගමන් කිරිම ආදිය දක්වා ඇති බවත් මේ සම්මුතියට අත්සන් කළ රටක් ලෙස අප රටත් රජය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් මේ සම්බන්ධයෙන් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
සීඑන්එන්, බීබීසී අල්ජසීරා ආදිය සබ්මැරීනයක් හරහා ටෝපිඩෝ ප්‍රහාරයක් සිදුව ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය පවා කියන විට අප රටේ ආරක්ෂක අමාත්‍යාංශය එවැනි දෙයක් සිදු නොවන බවට පවසන බවත් ඇමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා පවා එවැනි සබ්මැරීන් ටෝපීඩෝ ප්‍රහාරයක් එල්ල කළ බව පවසන විට රජය මේ ප්‍රශ්න ගැන නිල ප්‍රකාශයක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගාල්ලේ මෘත ශරීර විශාල ප්‍රමාණයක් ගෙන්වා ඇති බවත් මේවා තැන්පත් කරන්න අඩි 40 කන්ටේනර් අවශ්‍ය බවට වෛද්‍ය අංශ ඉල්ලා සිටින නිසා එය රජය ලබා දිය යුතු බවත් තවත් ඉරාන නැවක් අප රටේ මුහුදු සීමාවේ කොළඹ වරාය ආසන්නයේ ඇති බවත් මේ ගැන පැහැදිලි ප්‍රකාශයක් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජාතික ආරක්ෂාව ගැන මේසයක් බංකුවක් ගෙන ආවොත් ටියුෂන් දෙන්නම් යැයි කියූ මැති ඇමතිවරුන් ඉන්න වත්මන් රජයේ අය අප රටේ මුහුදු සීමාවේ සහ අනන්‍ය ආර්ථික කලාපයේ සිදුවන දේවල් නොදැන සිටිම පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.