අද වන විට අප රටේ වී ගොවියන් වගා කටයුතු සිදු කරන්නේ ලාභ උපයන ජීවන වෘත්තියක් වශයෙන් නොව හුදෙක් ජීවිතය රැකගැනීම සඳහා කරන අරගලයක් ලෙස යැයි විපක්ෂ නායකවරයා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද (06) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ගොවි ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් ප්‍රශ්න කරමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් පළ කළ විපක්ෂ නායකවරයා...
මිලදී ගත් වී තොග වෙළෙදපොළට ඉදිරිපත් කර තිබේ ද...?
''වගාවට පෙර, වගාව අතරතුර ණය බරින් මිරිකෙන ගොවියා අස්වැන්න නෙළා ගත් පසු රජය පොරොන්දු වූ සහතික මිල ලබා ගත නොහැකිව අස්වැන්න අඩුමිලට අතරමැදියන්ට විකුණා දමනවා. වන අලි මිනිස් ගැටුම, වන සත්ව මිනිස් ගැටුම නිසා වගා හානි සිදු වන නමුත් මේවාට විසඳුම් නැහැ. 2025 යල කන්නයේ දී රජය මිලදී ගත් සමස්ත වී ප්‍රමාණය සහ ඒ සඳහා වැය කළ මුදලත්, එම ප්‍රතිපාදන වෙන් කළේ අයවැය මගින් ද නැතහොත් ණය පහසුකම් හරහා ද කියා ඉදිරිපත් කර එසේ මිලදී ගත් වී තොග මේ වන විට වෙළෙදපොළට ඉදිරිපත් කර ඇත් ද, නැත්නම් දීර්ඝ කාලීනව ගබඩා කිරීම නිසා, හානි වීම නිසා රජයට මූල්‍ය පාඩුවක් සිදුව ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. ඒ සඳහා වගකිවයුතු පාර්ශ්වයන් ඉදිරිපත් කරන්න. 2025, 2026 මහ කන්නය සඳහා වී මිල දී ගැනීමේ රජයේ අපේක්ෂිත ඉලක්කය මෙන්ම ඒ සඳහා රජය සතු ගබඩා ධරිතාව ප්‍රමාණවත්ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. එසේ ප්‍රමාණවත් නොවන්නේ නම් අතිරේක ගබඩා පහසුකම් කුලියට ගැනීමට අතිරේක මහජන මුදලක් වැය කිරිමට අපේක්ෂා කරන්නේ ද කියා දැන ගැනීමට අවශ්‍ය යි.
ගොවියා මුළා කරන්න එපා
එසේම මේ වන විට නැගෙනහිර, රජරට ප්‍රදේශයේ වී අසවනු නෙළුවත් වී මිල දී ගන්නේ රු. 70ට 80ට නමුත් රජය පොරොන්දු වුණේ රු. 120ට. රජය ප්‍රකාශ කළ ආකාරයට වී මිල දී ගැනීමේ දී කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ට සහන දෙනවා කිව්වත් එය සිදු වුණා ද කියා දැන ගැනීමට අවශ්‍ය යි. මේ වන විට රජය මිලදී ගෙන ඇති වී ප්‍රමාණය ඉලක්ක ගත වී ප්‍රමාණයෙන් කොපමණ ප්‍රමාණයක් ද කියා ඉදිරිපත් කරන්න. රජය වී රු. 120 මිලදී ගන්නවා යැයි කිව්වත් ගොවියාට ලැබෙන්නේ රු. 70ත් 80ත් අතර මුදලක්. මේ පරතරය ගැන රජයේ ප්‍රතිචාරය ඉදිරිපත් කරන්න. මහ කන්නයේ සහතික මිල තීරණය කිරීමේ දී ගොවියා ගේ සැබෑ නිෂ්පාදන මිල ගණනය කරන සූත්‍රය ඉදිරිපත් කරන්න. ගොවියාට ලාභයක් ඉතිරි නොවන මිලක් සහතික මිල ලෙස හැඳින්වීම ජනතාව මුළා කිරීමක්. යෙදවුම් මිල ඉහළ යෑම, පොහොර රසායන සහ පොහොර මිල පහළ යෑම ආදිය සිදුවන නිසා මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුවිය යුතු යි. රු. 120 සහතික මිල ලබා දෙන්න විෂය භාර අමාත්‍යවරයා තවත් වසර 2ක් යන බව පැවසීම සත්‍යයක්ද කියා දැන ගැනීමටත් අවශ්‍ය යි.
තව ද: වර්ෂාව රෝග සහ පෝෂණ ඌනතා නිසා අහිමිවන අස්වැන්න උපකල්පනය කර ඇත් නම් එය ඉදිරිපත් කරන්න. එම අඩුව ජාතික සහල් සැපයුමට බලපාන ආකාරය ගැන රජයේ ඇගයිම ඉදිරිපත් කරන්න. රජයට සතු ආහාර සුරක්ෂිතභාවය සම්බන්ධ සැලසුම ඉදිරිපත් කරන්න. මැදපෙරදිග තත්ත්වය නිසා මේ යෙදවුම්වල මිල ඉහළ යන නිසා ගොවියාට ඉහළ ස්ථාවර මිලක් ලබා දිය යුතු යි.''