එයාර් බස් ගනුදෙනුව: ප්‍රියංකා විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂට වරෙන්තු නිකුත් කිරීමේ නියෝගය ලබන 2 වැනිදා

එයාර් බස් ගනුදෙනුව: ප්‍රියංකා විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂට වරෙන්තු නිකුත් කිරීමේ නියෝගය ලබන 2 වැනිදා
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නයෝමාලි විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන අයට වරෙන්තු නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ නියෝගය ලබන අප්‍රෙල් මස 02 වැනිදා ප්‍රකාශ කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (24) දැනුම් දුන්නා.

 
මෙම සැකකරුවන්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ සාක්ෂි විමසීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ගනු ලැබුවා.

අල්ලස් කොමිසම වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පොලිස් පරීක්ෂක දිලුම් දුෂාන්ත සාක්ෂි ලබා දෙමින් සඳහන් කළේ, අදාළ ගනුදෙනුව හරහා හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඇමරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් මුදලක් ලබා ගැනීමට කටයුතු කර ඇති බවට චෝදනා ලැබ ඇති බවයි.

එම අල්ලස් මුදල ලබා ගැනීම සඳහා ප්‍රියංකා නයෝමාලි විජේනායක සහ ශමීන්ද්‍ර රාජපක්ෂ යන අය ආධාර අනුබල ලබා දී ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් අධිකරණයේදී සාක්ෂි ලබාදෙමින් සඳහන් කළා.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර නීති අධ්‍යක්ෂවරිය සාක්ෂි මෙහෙයවනු ලැබූ අතර, අල්ලස් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනාවන්ට අනුව මෙම පුද්ගලයන් දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර ඇති බව ඇය අධිකරණයට පෙන්වා දුන්නා.

ඒ අනුව සැකකරුවන් දෙදෙනාට වරෙන්තු නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය මෙලෙස නියෝගය ප්‍රකාශ කිරීම සඳහා එලෙස දින නියම කළා.

Search