දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන්න ලෙස අගමැතිනියගෙන් උපදෙස්

දිස්ත්‍රික් මට්ටමින් විශේෂ අවධානයක් යොමු කර දිට්වා ආපදා සඳහා වන වන්දි ලබා දීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කරන ලෙසත්, පළාත් සභා වෙත මේ වන විට සියලු ප්‍රතිපාදන වෙන් කර ඇති අතර අපදා හානි සහ ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පළාත් මටටමින් සොයා බලන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පැවසුවේ Rebuilding Sri Lanka වැඩසටහනේ ක්‍රියාකාරකම් කඩිනම් කිරීම වෙනුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කයන්හි ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් සහ මහජන නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ ඊයේ (21) පැවති සාකච්ඡාවේදීය.

අපදා සහන සහ වන්දි ලබාදීම් කඩිනම් කිරීමත්, අපදාවෙන් යටිතල පහසුකම්වල සිදු වූ හානි කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම සාකචඡාව පැවැත්විය.

දිට්වා සුළිකුණාටුවෙන් සිදු වූ හානි වෙනුවෙන් රුපියල් බිලියන 500ක් වෙන් කර ඇති අතර 2026 වසර අවසන් වීමට පෙර අදාළ සංවර්ධන කටයුතු සිදු කර අවසන් විය යුතු බවත්, හානි සඳහා වන වන්දිගෙවීම් ප්‍රමාද වීමට ප්‍රාදේශිය මට්ටමින් පවතින ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය උපදෙස් ලබා දුන්නාය. 

දිට්වා සුළිකුණිටුව නිසා සිදු වූ හානිවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා දළ වශයෙන් ඩොලර් බිලියන 3.4ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බවත්, ඒ අනුව නිවාස හා සමාජ යටිතල පහසුකම්, කෘෂිකර්ම සහ පශු සම්පත්, ධිවර, කර්මාන්ත හා ජීවනෝපාය, වාරිමාර්ග ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් වෙනුවෙන් වන්දි ලබා දීමට මුදල් වෙන් කර ඇති බවත් මෙහිදී කරුණු දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්. ආර්.ඩී. අපොන්සු  පැවසුවේය. 

25,000 දීමනාව ලබා දීම මේ වන විට 99%ක් අවසන් කර ඇති අතර නැවත පදිංචිය සඳහා ලබා දෙන රුපියල් 50,000 දීමනාව ගෙවිම 95%ක් අවසන් බවද ඔහු පෙන්වා දුන්නේය. 

පූර්ණ හානි සිදු වූ නිවාස  සහ අර්ධ හානි සිදු වූ නිවාස සඳහා වන වන්දි ගෙවීම් තවමත් සිදු වන අතර සුරක්ෂා මධ්‍යස්ථාන වසා දැමීම 99%ක් අවසන් කර ඇති බවද ඔහු අවධාරණය කළේය. 

මීට අමතරව ආපදාවට පත් පාසල් සිසුන් සඳහා රුපියල් 25,000ක් ලබා දීම, ආපදාවෙන් මිය ගිය පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් වන්දි ගෙවීම, මව හෝ පියා අහිමි වූ දරුවන් සහ මව, පියා දෙදෙනාම අහිමි වූ දරුවන් සඳහා වන්දි ගෙවීම, අපදාවට ලක් වූ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සඳහා වන්දි ගෙවීම, හානි වූ කෘෂිකර්මික කටයුතු සඳහා වන්දි ගෙවීම මෙන්ම අපදාවට පත් නිවාසවල ජනතාව නැවත පදිංචි කිරීමේ කටයුතු කඩිනම් කිරීම, නව නිවාස ඉදිකිරීම සඳහා ඉඩම් වෙන් කරගැනීම මෙන්ම ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා ලබා ගැනීම කඩිනම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණ.

.

 

Search