ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන විදේශීය ඩිජිටල් සේවා සහ අන්තර්ජාල වේදිකාවන් හරහා සපයන සේවාවන් සඳහා අලුතින්ම එකතු කළ අගය මත බදු (VAT) පැනවීමට රජය තීරණය කර ඇත.
2026 අප්‍රේල් මස 24 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මේ පිළිබඳ නීතිමය විධිවිධාන ප්‍රකාශයට පත් කර ඇති අතර, නව බදු සංශෝධන 2026 ජූලි මස 01 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
මේ දක්වා දේශීය මට්ටමින් සපයන ලද සේවා සඳහා පමණක් බලපැවැත්වුණු වැට් බද්ද, මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ පදිංචි නොවී විදේශයන්හි සිට මෙරට පාරිභෝගිකයන්ට සපයන ඩිජිටල් සේවා සඳහා ද අදාළ කර ගැනීමට රජය මෙලෙස පියවර ගෙන ඇත.
ප්‍රධාන වශයෙන් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයන් හෝ ඩිජිටල් වේදිකා හරහා සැපයෙන පහත සේවාවන් සඳහා මෙම බද්ද බලපැවැත්වේ.
වෙළඳාම සහ දැන්වීම්: ඩිජිටල් දැන්වීම් ප්‍රචාරණය සහ අලෙවිකරණ සේවා.
විනෝදාස්වාදය: මාර්ගගත සිනමා පට , සංගීතය සහ වීඩියෝ Streaming සේවා.
මෘදුකාංග සහ දත්ත: අන්තර්ජාලය හරහා බාගත හැකි මෘදුකාංග, ඇප් (Apps) සහ Cloud ආශ්‍රිත දත්ත ගබඩා කිරීමේ සේවා.
සූදු සහ ක්‍රීඩා: මාර්ගගත සූදු (Online Gaming) සහ ඔට්ටු ඇල්ලීමේ සේවා.
වෙනත් සේවා: ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සහ ඩිජිටල් තොරතුරු සැපයීමේ සේවාවන්.
ශ්‍රී ලංකාව තුළ වසරකට රුපියල් මිලියන 36කට වඩා ආදායම් ලබන හෝ ඕනෑම මාස තුනක කාලයකදී රුපියල් මිලියන 9ක ආදායමක් ලබන විදේශීය සේවා සපයන්නන් අනිවාර්යයෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.
අදාළ සේවා සපයන්නා ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටියද, සේවාව ලබාගන්නා පුද්ගලයා ශ්‍රී ලංකාවේ බැංකු කාඩ්පතක් භාවිත කරන්නේ නම් හෝ ශ්‍රී ලාංකේය අන්තර්ජාල ලිපිනයක් (IP address) භාවිත කරන්නේ නම්, එය ශ්‍රී ලංකාව තුළ සිදුකළ ගනුදෙනුවක් ලෙස සලකා මෙම බදු මුදල් අය කර ගැනීමට කටයුතු කරනු ඇත