රුපියල කඩාවැටීමෙන් 2022 ට වඩා දරුණු ආර්ථික පීඩනයක් එන්න පුළුවන් ! ඩොලරය රුපියලකින් වැඩි වන විට ණය බර බිලියන 37.7 කින් ඉහළට !

රුපියල කඩාවැටීමෙන් 2022 ට වඩා දරුණු ආර්ථික පීඩනයක් එන්න පුළුවන් ! ඩොලරය රුපියලකින් වැඩි වන විට ණය බර බිලියන 37.7 කින් ඉහළට !


ලෝකයේ පිරිහෙන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, රුපියල මෙලෙස අඛණ්ඩව කඩාවැටුණහොත් 2022 වසරේදී ජනතාව මුහුණ දුන් පීඩනයට වඩා වැඩි ආර්ථික පීඩනයකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති බවත් වයඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා අනතුරු අඟවයි.

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් ඇතිවිය හැකි කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන ආර්ථික ප්‍රතිවිපාක ඉතා භයානක විය හැකි බව හෙතෙම පෙන්වා දෙයි.

මහාචාර්යවරයා පවසන පරිදි, ඇමෙරිකානු ඩොලරයක අගය රුපියලකින් වැඩි වන සෑම අවස්ථාවකම මෙරට සමස්ත ණය බර රුපියල් බිලියන 37.7කින් ඉහළ යයි. පසුගිය පෙබරවාරි මාසය වන විට රුපියල් 309ක් ලෙස පැවති ඇමෙරිකානු ඩොලරයක අගය මේ වන විට රුපියල් 344 සීමාව ඉක්මවා ගොස් ඇති අතර, ඒ අනුව මෙරට සමස්ත ණය බර මේ වන විටත් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හෙතෙම සඳහන් කරයි.

රුපියල මෙලෙස දිගින් දිගටම අවප්‍රමාණය වීම හරහා විදේශීය මෙන්ම දේශීය ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය දැඩි ලෙස බිඳ වැටෙන බවත්, එමඟින් රට නැවත වතාවක් දරුණු ආර්ථික අර්බුදයකට ගොදුරු වීමේ දැඩි අවදානමක් පවතින බවත් මහාචාර්යවරයා අවධාරණය කරයි.

මෙම බරපතළ තත්ත්වය හමුවේ වත්මන් රජය සිය වගකීමෙන් බැහැර නොවිය යුතු බව පවසන මහාචාර්යවරයා, මෙය ඇමෙරිකාව හෝ ඉරානය අතර පවතින යුද තත්ත්වය වැනි ජාත්‍යන්තර කරුණු මත සිදුවන්නක් යැයි පවසමින් රජය ඇඟ බේරා ගැනීමට උත්සාහ නොකළ යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Search