අටමස්ථානාධිපති හිමි ධුරයෙන් නෙරපයි...

අටමස්ථානාධිපති හිමි ධුරයෙන් නෙරපයි...



 මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක සහ අටමස්ථානාධිපති ධුරය දරන පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේගේ සංඝනායක පදවිය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව තීරණය කර ඇත.

පල්ලේගම හේමරතන ස්ථවිරයන් වහන්සේට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවතින අධිකරණ කටයුතු අවසන් වී අවසන් තීරණයක් ලැබෙන තෙක්, මල්වතු මහා විහාරීය කාරක මහාසංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පියවර ගත් බව මල්වතු මහා විහාරය නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

මෙම චෝදනා සම්බන්ධයෙන් අවධානය යොමු කළ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහාසංඝ සභාව, අදාළ පාර්ශ්වයන් ද කැඳවා කරුණු විභාග කිරීමෙන් අනතුරුව (2026.05.30) දින රැස්වී මෙම තීරණයට එළඹ තිබේ.

එසේම, පැනනැඟී ඇති තත්ත්වය හමුවේ අටමස්ථාන කමිටුවේ තීරණය පරිදි, එහි සාමාජික උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍ය රාමාධිකාරි ඊතලවැටුණුවැවේ ඤාණතිලක නායක ස්ථවිරයන් වහන්සේ තාවකාලිකව අටමස්ථානාධිපති ධුරයේ කටයුතු ආවරණය කිරීම සඳහා පත් කර ඇත.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අතිගෞරවාර්හ මහානායක මාහිමිපාණන් වහන්සේගේ නියමය පරිදි, මල්වතු මහා විහාරයේ ලේඛකාධිකාරි, ආචාර්ය පහමුණේ ධර්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නායක ස්ථවිරයන් වහන්සේගේ අත්සනින් යුතුව මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.

Search