වෙළඳ හිඟයත් විශාල ලෙස ඉහලට.. ජංගම ගිණුම අවදානමක.. විදේශීය ආයෝජකයන් බැදුම්කර විකුණති..

වෙළඳ හිඟයත් විශාල ලෙස ඉහලට.. ජංගම ගිණුම අවදානමක.. විදේශීය ආයෝජකයන් බැදුම්කර විකුණති..


2026 අප්‍රේල් මාසයෙන් අවසන් වූ මාස හතර තුළ මෙරට වෙළඳ හිඟය ඇමරිකානු ඩොලර් මිලියන 3,693 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවේ පැවති ඩොලර් මිලියන 2,257 ක වෙළඳ හිඟයට සාපේක්ෂව විශාල වැඩිවීමක ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම වාර්තා හෙලි කරයි.

ජනවාරි - අප්‍රේල් කාලයේදී අපනයන ආදායම ඩොලර් මිලියන 4,535 ක් දක්වා 5.1% ක සුළු වර්ධනයක් පෙන්වා ඇත. නමුත් එම කාලය තුළම ආනයන වියදම 25.2% ක අතිවිශාල ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඩොලර් මිලියන 8,228 ක් ලෙස සටහන් වී තිබේ. 

අපනයන මිල ගණන් ඉහළ යාමට වඩා ආනයන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් 2026 අප්‍රේල් මාසයේදී මෙරට වෙළඳ අනුපාතය 6.4% කින් පහත වැටී ඇති බවද මහ බැංකුව පවසයි. මේ හේතුවෙන් ප්‍රේෂණ ඉහළ ගියද ජංගම ගිණුම මත දැඩි පීඩනයක් එල්ල වී ඇත.

කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මත පදනම් වූ මතුපිට උද්ධමනය 2026 මැයි මාසයේදී 5.5% ක් ලෙස සටහන් වෙමින් තවදුරටත් මහ බැංකුවේ ඉලක්කගත මට්ටමට වඩා මඳක් ඉහළින් පවතී. විශේෂයෙන්ම ආහාර නොවන උද්ධමනය 7.8% ක් වැනි ඉහළ මට්ටමක පැවතීම ඉදිරියේදී ජීවන වියදම තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පෙන්නුම් කරයි.

උද්ධමනකාරී පීඩනය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 මැයි 26 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාත්‍රී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් ලකුණු 100 කින් 8.75% දක්වා ඉහළ නංවා ඇත. මේ හේතුවෙන් වාණිජ බැංකුවල ප්‍රධාන ණය දීමේ අනුපාතිකයන් සහ ඇමතුම් මුදල් අනුපාතිකයන්  ඉහළ ගොස් ඇති අතර, මෙය ඉදිරියේදී ව්‍යාපාරික ක්ෂේත්‍රයට ණය ලබා ගැනීමේදී දැඩි පීඩනයක් එල්ල කරනු ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ප්‍රේල් මාසයේදී මාසික පදනමින් සංකෝචනය වී ඇත. එමෙන්ම නිෂ්පාදන සහ සේවා අංශයන්හි දර්ශකද මාර්තු මාසයට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර, එය ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමී වීමේ අවදානමක් පෙන්වයි.

වාර්තාගත සතිය තුළ රජයේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා විදේශීය ආයෝජකයන් සතු වූ රුපියල් වටිනාකම 5.49% කින් පමණ පහත වැටී ඇත. විදේශීය ආයෝජන මෙලෙස ඉවත් වීම විදේශ විනිමය වෙළඳපොළ කෙරෙහි අහිතකර ලෙස බලපෑ හැකිය.

2026 වසරේ මුල් මාස හතර තුළ සංචාරක පැමිණීම් 2.3% කිනුත්, සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ආදායම ඩොලර් මිලියන 1,111 ක් දක්වා 19.4% කිනුත් පහත වැටී තිබීම විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් අවදානමට ලක් කර ඇත.

2026 මැයි 29 වනදා වන විට රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව වසරේ මේ දක්වා කාලය තුළ 5.4% ක අගය අඩුවීමක් වාර්තා කර ඇත

Search