මහා භාණ්ඩාගාර කොල්ලය ගැන මුදල් අමාත්‍යාංශය ” හර්ෂට පමණයි ” වාර්තාවක් එවලා ! මට පෞද්ගලික වාර්තා එපා : පාර්ලිමේන්තුවට එවන්න කියා හරවා යවලා !

මහා භාණ්ඩාගාර කොල්ලය ගැන මුදල් අමාත්‍යාංශය ” හර්ෂට පමණයි ” වාර්තාවක් එවලා ! මට පෞද්ගලික වාර්තා එපා : පාර්ලිමේන්තුවට එවන්න කියා හරවා යවලා !

මහාභාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් ‘පෞද්ගලික පරිශීලනයට පමණයි’ යන ලේබලය යටතේ තමන් වෙත එවූ රහස් වාර්තාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.

කොළඹ පැවැති මාධ්‍ය අමතමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.

භාණ්ඩාගාරයේ සිදුව ඇති මෙම මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව වහාම වාර්තාවක් සපයන ලෙස මුදල් කාරක සභාව විසින් මීට පෙර දැනුම් දී තිබූ බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළේය.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරන ලද වාර්තාව සභාගත කිරීම වෙනුවට, එය පෞද්ගලික ලේඛනයක් ලෙස හුවක්වමින් සිය නිවස වෙත එවා තිබූ බව මන්ත්‍රීවරයා පැවසීය.

“මුදල් කමිටුව ඉල්ලුවේ පාර්ලිමේන්තුවට සහ රටට හෙළි කළ යුතු නිල වාර්තාවක්. නමුත් මුදල් අමාත්‍යාංශය ‘පෞද්ගලික පරිශීලනයට පමණයි’ කියලා මගේ නිවසට වාර්තාවක් එවා තිබුණා. මහජන මුදල් පිළිබඳ ප්‍රශ්න මේ වගේ කාමර ඇතුළේ රහසින් විසඳන්න බැහැ. ඒ නිසා මම එම වාර්තාව භාර ගැනීම ප්‍රතික්ෂේප කළා.” යැයි ඒ මහතා අවධාරණය කළේය.

මෙම ගැටලුව මහජනතාව සතු පරමාධිපත්‍ය බලයට සහ මුදල් පාලනයට ඍජුවම බලපාන කරුණක් බැවින්, අදාළ නිල වාර්තාව වහාම ක්‍රියාත්මක වන පරිදි හෙට (03) දිනයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලෙස තමන් මුදල් අමාත්‍යාංශ බලධාරීන්ට ඍජුවම නියෝග කළ බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Search