Sanna Marin පසුගියදා ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ ලොව ලාබාලතම අග්‍රාමාත්‍යවරිය ලෙස වාර්තා පොත් අතරට එක්වෙමිනි. අගමැති ධුරයට පත්වන විට ඇගේ වයස අවුරුදු 34කි.
ඒ දකින බොහෝ දෙනා තාරුණ්‍යයට රටේ ඉහළම වගකීම භාරදීමේ ආදර්ශය ශ්‍රී ලංකාවට ආදේශ කිරීමේ වැදගත්කම අවධාරණය කරනු දක්නට ලැබුණි. ඇත්තකි. ඇය පිළිබදව විශේෂ අවධානය යොමුවීමට ඇගේ වයස හේතු වූ බව රහසක් නොවේ. නමුත් වයස එතරම් තීරණාත්මකදැයි සළකා බැලීමට පෙර ඇය වයස 34දී අගමැති තනතුර දක්වා පැමිණි මග අධ්‍යයනය කර බැලීම වටී.
Sanna Mirella Marin වර්ෂ 1985 නොවැම්බර් 15 වැනි දින Helsinki හිදී උපත ලැබුවාය. ඇයට ජීව විද්‍යාත්මක පියෙක් සිටිනවා විය හැකිය. නමුත් විකිපීඩියා නිදහස් විශ්ව කෝෂය දක්වන ආකාරයට ඇයට සිටින්නේ මව්වරුන් දෙදෙනෙකි. එනම් ඇය කාන්තා සමලිංගික පවුලක එකම දරුවාය.
වර්ෂ 2004දී එනම් ඇයට වයස අවුරුදු 19දී Pirkkala උසස් පාසැලෙන් සමත් වූවාය. වර්ෂ 2007දී ටැම්පෙරේ විශ්ව විද්‍යාලයෙන් පරිපාලන විද්‍යාව පිළිබදව පශ්චාත් උපාධිය ලබාගත් ඇය දේශපාලනයට පිවිසෙන්නේ වයස අවුරුදු 27 දීය.
ඇය 2010 සිට 2012 දක්වා ෆින්ලන්ත සමාජ ප්රජාතන්ත්රවාදී තරුණ සංගමයේ පළමු උප සභාපතිනිය ලෙස කටයුතු කළාය. ඇය ඵලමු වරට සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂිකාවක් ලෙස 2012 වසරේ නම් කරනු ලැබුවද පාර්ලිමේන්තුවට තේරීපත් නොවූවාය.
වර්ෂ 2012 දී වයස අවුරුදු 27 දී ඇය Tampare නගර සභාවට තේරී පත් වූ අතර එහි නගරාධිපතිනිය ලෙස වර්ෂ 2012 සිට 2017 දක්වා කටයුතු කරන ලදී.
ඇය වර්ෂ 2014 දී සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ දෙවන උප සභාපතිනිය ලෙස තෝරාපත් කරගන්නා ලදී. වර්ෂ 2015දී එනම් ඇයට වයස අවුරුදු 30දී ඇය පළමු වරට Prikanmaa ප්‍රදේශය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය. ඉන් පසර 4කට පසු එනම් 2019 වසරේ ඇය නැවතත් දෙවන වතාවට පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ප්‍රවාහන හා සන්නිදවේදන අමාත්‍ය ධූරයට පත් කරන ලදී.
වර්ෂ 2019 දෙසැම්බර් මස එවකට ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයා වූ Antti Rinne ෆින්ලන්ත තැපැල් සේවක වැඩ වර්ජනය කළමනාකරණය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඉල්ලා අස්වීමෙන් පසු සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය විසින් මීළග අග්‍රමාත්‍යවරිය ලෙස Sanna Marin ගේ නම යෝජනා කරන ලදී.
ඇය ඒ සදහා යෝජනා වූයේ සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීමකදී ඇගේ ප්‍රතිවාදියා වූ Antti Lindtman ඉතාම සුළු බහුතරයකින් පරාජය කරමිනි.
සරළව ඇගේ කතාව එයයි. මෙය අධ්‍යයනය කිරීමේදී ශ්‍රී ලාංකිකයන්ට පුදුමයක් ඇතිවනු ඒකාන්තය. මන්ද ඇය යටත් පිරිසෙයින් අමාත්‍ය ධුරයක් හෝ හොබවා තිබුණේ මාස ගණනකි. ශ්‍රී ලංකාවේ Sanna Marinට වඩා බොහෝ සුදුසුකම් ඇති අය සිටියද අග්‍රාමාත්‍ය තනතුර වැනි රටේ ඉහළ තනතුරක් සදහා එවැන්නන් සළකා බැලීමේදී ඊට වඩා ජ්‍යෙෂ්ඨයන් සිටීම පමණක් වුවද එවැන්නෙකුගේ නුසුදුසුකමක් බවට පත්වනු ඇත. දක්ෂ තරුණයාට වඩා 1970 පටන් පාර්ලිමේන්තුවේ සිටින අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨයාට තැන දීම ශ්‍රී ලංකාවේ ක්‍රමයයි. එම ක්රමයේද සාධනීය ලක්ෂණ නැත්තේ නොවේ. නමුත් ඒ හරහා සිදුවන්නේ Sanna Marin වැනි තරුණ වැඩ කළහැකි දේශපාලනඥයන් හරිහැටි ප්‍රයෝජන ගැනීමකින් තොරව දේශපාලනයේ පාදඩ කෘතහස්තභාවය කරා ඇටුවම් බැහීමය. එය විශාල ඛේදවාචකයකි.
තරුණ වීම පමණක් දේශපාලනයේ සුදුසුකමක් වන බව ඉන් කිසිසේත් අදහස් නොවේ. නෙල්සන් මැන්ඩෙලා බලයට පත්වන්නේ වයස අවුරුදු 76දීය. මහතීර් මොහොමඩ් 2018දී බලයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 94කි. ඒ අනුව අදාළ වන්නේ වයස නොව ශක්යාවයයි දක්ෂතාවයයි. ශක්‍යතාවය සහ දක්ෂතාවය ඇති තැනැත්තාට වෙනත් බාධා නොතිබිය යුත්තේය.
ඒ අනුව Sanna Marin ශ්‍රී ලංකාවේ සිටියේනම් ඇයට එළ පළමු ප්රශ්නය වන්නේ ඇය සමලිංගික පවුලක දරුවා වීමය. ඇය අගමැති ධුරයට තබා නාගරික මන්ත්‍රී ධුරයකට හෝ තරග කිරීමට ඉදිරිපත් වී නම් විවිධ ප්රතිගාමී පාර්ශව ඊට එරෙහිව උපවාස කරනු ඇත ගිනිතබා ගනු ඇත. කෙසේ හෝ ඇයව වලකාලනු ඇත.
අගමැතිධුරය සඳහා ඇය යෝජනා කිරීමට පෙර පක්ෂ අභ්‍යන්තරයේ ඡන්දයක් පැවැතියේ නම් "සමාජ ප්රජාතන්ත්රවාදී පක්ෂය බෙදිලා" යන්න මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තියක්ද වනු ඇත.
ඒ අභියෝගය කුමන හෝ අයුරකින් ජයගත්තද ඊට පසු දේශපාලනයේ අත්දැකීම් මද බව මාතෘකාවක් වනු ඇත. ඇගේ නිපුණතාවය දක්ෂතාවය ශක්‍යතාවය කුමක් වුවද ඇයට තවත් අත්දැකීම් සහ කාලයක් අවශ්‍ය බව පවසා මුල්ලකට තල්ලු කෙරෙනු ඇත. ඉන්පසු ජ්‍යෙෂ්ඨතා අනුපිළිවෙල අනුව ඇයට අවස්ථාව ලැබෙන විට ඇයද රටේ සාම්ප්‍රදායික කණුව වටේ ඔහේ කැරකෙන දේශපාලනඥයෙකුගේ තත්වයට පත්ව තිබෙනු ඇත.
නමුත් ෆින්ලන්තය එසේ කළ පලියට ශ්‍රී ලංකාවට වහාම එසේ කළ නොහැක. එය ක්‍රමක්‍රමයෙන් සිදුවූ සමාජ පරිණාමයක ප්රතිඵලයකි. අප තවමත් ඒ තරමට පරිණාමය වී නොමැත. හොදම උදාහරණය ඇය කාන්තා සමලිංගික දෙමාපියන් දෙදෙනෙකුගේ දරුවා ලෙස උපත ලබන්නේ 1985දී වීමයි. ශ්‍රී ලංකාවේ 2019දී පවා එවන් මාතෘකාවක් පිළිබදව කතා කිරීමට හෝ මරණීය ප්‍රතිඵල අත්වීමට හේතුවක් වනු ඇත. ජීවිතය ඉදිරියට ගලා යා යුතුය. එය නිදහසේ ගලායාමට ඉඩදුන් තරමට මානසික වශයෙන් ඇති සිරගත භාවය සීමා වී විවෘත චින්තනයට අවස්ථාවය සැළසේ. විවෘත චින්තනය තුල නවෝත්පාදනයන් බහුලය.
ශ්‍රී ලංකාවට වහාම ෆින්ලන්තය විය නොහැක. එසේ වීමට අවශ්‍යද නැත. අවශ්‍ය වන්නේ වඩා දියුණු චින්තනයක් සහිත ශ්‍රී ලංකාවකි. ඒ සදහා අපේකම මුවාවෙන් අප විසින්ම පණවාගෙන ඇති පසුගාමී ලක්ෂණ එකින් එක හෝ ඉවත් කර අවලංගු කරදැමීම පාලකයන් අවධානයට ලක්කළ යුතු අතිශය වැදගත් කාර්යයකි.
නීතිඥ අතිල අතාවුද