Update--රුසියාවේ භූකම්පනයෙන් තවත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

Update--රුසියාවේ භූකම්පනයෙන් තවත් රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම්

රුසියාවේ නැගෙනහිර මුහුදේ කම්චට්කා අර්ධද්වීපය ආසන්නයේ මැග්නිටියුඩ් 8.8ක භූමිකම්පාවක් සිදු වී තිබේ.

ඊයේ (ජූලි 29) එරට වේලාවෙන් රාත්‍රී 11:25ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මේ හේතුවෙන් රුසියාව, ජපානය, චීනය, පිලිපීනය, ඉන්දුනීසියාව, ඇමෙරිකා එක්සත් ජනපදයේ හවායි දූපත්, ගුවාම් සහ මයික්‍රොනීසියාවෙ, ඇලෙස්කා කලාපවලට සහ පේරු රාජ්‍ය ඇතුළු රටවල්වලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ය.

විදෙස් මාධ්‍ය පවසන්නේ, මෙම ප්‍රබල භූමිකම්පනයෙන් පසු රුසියාවේ කම්චට්කා අර්ධද්වීපය වෙත මීටර් 3-4ත් අතර උස සුනාමි රළ පැමිණ ඇති බව ය.

මේ හේතුවෙන් කම්චට්කා අර්ධද්වීපයේ පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති අතර මෙම ප්‍රබල භූ කම්පනයෙන් අනතුරුව ‘ප්‍රබල පසුකම්පන’ අපේක්ෂා කරන බව TASS ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

මේ වන තෙක් බරපතළ තුවාල සහිත පුද්ගලයන් කිසිවක් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් සඳහන් කර තිබේ.

රුසියානු හදිසි අවස්ථා අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, සුනාමි රළ රුසියානු වරාය නගරයක් වන සෙවෙරෝ-කුරිල්ස්ක් හි කොටසක් ජලයෙන් යටවී ඇති බව ය.

එමෙන් ම, ජපානයේ හොකයිඩෝ ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට ද සුනාමිය රළ පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ජපාන ප්‍රධාන කැබිනට් ලේකම් යොෂිමාසා හයාෂි සඳහන් කර ඇත්තේ, මේ දක්වා කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැති බව ය.

තව ද, මෙම සුනාමි තත්ත්වය හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට මේ දක්වා කිසිදු බලපෑමක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Search