ජනප්‍රිය බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ප්‍රථමවරට ලොව බිලියනපතින්ගේ ලැයිස්තුවට ඇතුළත්ව තිබේ. ඉන්දියාවේ වාර්ෂිකව පළ වන එරට ධනවත්ම පුද්ගලයන් ශ්‍රේණිගත කරන ‘හුරුන් ඉන්ඩියා’ ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව 59 හැවිරිදි වියෙහි පසුවන ෂාරුක් ලොව බිලියනපතීන්ගේ ලැයිස්තුවට ඇතුළත් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක (පවුම් බිලියන 1.03) වත්කමක් උපයා තිබීම හේතුවෙනි. මේ අනුව ලොව ධනවත්ම නළුවන්ගේ ලැයිස්තුවට ෂාරුක් ඛාන් එක්ව සිටින ප්‍රථම අවස්ථාව මෙය සේ සැලකේ.
විදෙස් මාධ්‍යයට අනුව ෂාරුක් ඛාන් ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක වත්කමක් ඇති ලොව ප්‍රකට සිනමා නළු ආනොල්ඩ් ශ්වසෙනෙගර්, පොප් ගායිකා රිහානා, ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් හා ගායිකා ටේලර් ස්විෆ්ට් යන පිරිස ඇතුළත්වන ජනප්‍රිය තාරකාවන්ගේ කණ්ඩායමට ඇතුළත්ව සිටියි. බොලිවුඩයේ ප්‍රේමනීය රජු ලෙස විරුදාවලි ලැබ සිටින ෂාරුක් ඛාන් දශක තුනකට අධික කාලයක් සිනමා නළුවකු වශයෙන් කටයුතු කර ඇති අතර වර්තමානයේ ඉන්දියාවේ ප්‍රධාන සිනමා නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යමින් ක්‍රිකට් කණ්ඩායමක ද අයිතිකරු ලෙස කටයුතු කරයි. ඔහු ඇමරිකානු ඩොලර් බිලියන ගණනක් දක්වා සිය වත්කම ඉහළ නංවාගෙන ඇත්තේ සිය පාලනය යටතේ පවතින රෙඩ් චිලීස් එන්ටර්ටේන්මනට් සිනමා නිෂ්පාදන ආයතනයෙන් හා නයිට් රයිඩර් ක්‍රිකට් කණ්ඩායමෙන් උපයාගෙන ඇති ආදායම් නිසා බව වාර්තා වේ. වාර්ෂික ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටින ජනප්‍රිය බොලිවුඩ් නිළියක වන ජුහි චව්ලා හා ඇයගේ පවුලේ සාමාජිකයන් ඇමරිකානු ඩොලර් මිලියන 880ක වත්කමක් සහිතව ලැයිස්තුවේ ෂාරුක්ට පිටුපසින් දෙවැනි ස්ථානයේ පසු වේ. අදාළ ලැයිස්තුවට ඇතුළත් සෙසු ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන් වන රිතික් රෝෂාන් ඇමරිකානු ඩොලර් මිලියන 260ක වත්කමක් සහිතව ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයෙහි පසුවෙයි. ඔවුන්ගෙන් පසුව බොලිවුඩ් සිනමා නිර්මාණකරුවකු වන කරන් ජොහාර් ඇමරිකානු ඩොලර් මිලියන 200ක වත්කමක් සහිතව හා සිනමා නළු අමිතාබ් බච්චන් හා ඔහුගේ පවුල ඇමරිකානු ඩොලර් මිලියන 183ක වත්කමක් සහිතව ලැයිස්තුවට ඇතුළත්ව තිබේ.