2005 වසරේ සිට 2013 වසර දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad), අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.
ඊසානදිග ටෙහෙරානයේ 'නර්නැක්' (Narnak) ප්‍රදේශයේ පිහිටි අහමදිනෙජාඩ් මහතාගේ නිල නිවස ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
මෙම ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු මියගිය බව ඉරාන මාධ්‍ය ආයතන තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මහමුද් අහමදිනෙජාඩ් ජනාධිපති ධුරයට පත්වීමට පෙර අර්ඩබිල් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත්, ටෙහෙරාන් නුවර නගරාධිපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ. ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු, ඔහුව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් 'උපායමාර්ගික උපදේශක මණ්ඩලයේ' (Expediency Discernment Council) සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.
උත්තරීතර නායකයාගේ මරණයෙන් පසු, ඉරාන දේශපාලනයේ තවත් ප්‍රබල චරිතයක් වූ අහමදිනෙජාඩ් මෙලෙස මියයාම එරට පාලන තන්ත්රයට එල්ල වූ තවත් ප්‍රබල පහරක් ලෙස සැලකේ.
සියලු අරමුණු ඉටු කරගන්නා තෙක් ඉරානයට ප්‍රහාර එල්ල කරනවා - ට්‍රම්ප්

සියලු අරමුණු ඉටු කරගන්නා තෙක් ඉරානයට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඉදිරි කාලසීමාව තුළ අමෙරිකානු සන්නද්ධ බලකායන්ට තවදුරටත් ජීවිත හානි සිදු විය හැකි බවද මෙහිදී ඔහු සඳහන් කර සිටී.
කෙසේ වෙතත් ඉරානයේ නව නායකයින් සමග සාකච්ඡා කිරීමට අමෙරිකානු ජානාධිපතිවරයා එකඟතාවය පළකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම සාකච්ඡා ඉතා කඩනමින් පැවැත්විය යුතු බව ද එහිදී ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර ඊයේ දිනයේදී ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ සිදු කළ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන නාවික හමුදාවට අයත් නැව් 9ක් විනාශ වී ඇති අතර ඉරානය විසින් බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු තෙල් නැව් කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවයි.
ඉරානයේ අන්තර්ජාල සබඳතා බිඳ වැටෙයි

අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරාන භූමියට එල්ල කළ දැවැන්ත ප්‍රහාරවලින් සහ ඉන් අනතුරුව ඉරානය එල්ල කළ ප්රතිප්රහාරවලින් පැය කිහිපයකට පසු, එරට අන්තර්ජාල පහසුකම් දැඩි ලෙස සීමා කර ඇති බව වාර්තා වේ.
ගෝලීය අන්තර්ජාල ක්රියකාරීත්වය නිරීක්ෂණය කරන Kentik ආයතනයේ දත්තවලට අනුව, සෙනසුරාදා එල්ල වූ ප්‍රහාරවලින් පසු ඉරානයේ සබඳතාවල සීඝ්‍ර පහත වැටීමක් දක්නට ලැබෙන බව සඳහන් වේ.
එම ආයතනය ගණනය කර ඇත්තේ ඉරානයේ ගෝලීය අන්තර්ජාල ප්‍රවේශයෙන් 99%ක් පමණ මේ වන විට විසන්ධි වී ඇති බවය.
සමාජ මාධ්‍ය ජාලයන්හි සක්‍රීයව පවතින්නේ ඉරාන රජයේ නිලධාරීන්ට හෝ රජයේ විශ්වාසය දිනූ පුද්ගලයන්ට අයත් ගිණුම් සීමිත සංඛ්‍යාවක් පමණක් බව සඳහන් වේ.
ජාත්‍යන්තර අන්තර්ජාල සබඳතා මෙසේ අත්හිටුවා තිබුණද, ඉරානය තුළ ක්‍රියාත්මක වන දේශීය වෙබ් අඩවි සහ පණිවුඩ හුවමාරු පද්ධති (Internal messaging platforms) තවමත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මීට පෙර 2026 ජනවාරි මාසයේ පැවති නොසන්සුන්කාරී වාතාවරණයකදී ද ඉරානය මෙලෙස රට පුරා අන්තර්ජාලය විසන්ධි කිරීමට පියවර ගෙන තිබුණි.