මධ්‍යම රාත්‍රී එකොළහ වන මේ වනවිටත් රට පුරා ඇඳිරි නීතිය පනවා ඇති අතර හෙට දින අප සේවයට වාර්තා කළ යුතු දැයි යන්න හෝ කළ හැකිදැයි අවිනිශ්චිත ය.
සමාජ මාධ්‍ය ජාලා වාරණය කිරීම පිළිබඳ රජයට චෝදනා නැගුණත් අඩුම තරමේ මෙවැනි පාණ්ඩු ආණ්ඩුවකට එවැනි පියවරක් හෝ ගැනීමට හැකි වීම එක්තරා ආකාරයක සැනසීමකි. අමතක නොකළ යුතු කරුණක් ඇත. පසුගිය වසරේ පෙබරවාරි - මාර්තු කාල සීමාවේ මහනුවර ප්‍රදේශයේ හටගත් සිංහල - මුස්ලිම් ගැටුම අවුලනු ලැබුවේ ද සමාජ මාධ්‍ය ජාලා ; විශේෂයෙන්ම වට්සැප් හරහා ය. 2018 මාර්තු මාසයේ දී ජාතිවාදී ප්‍රකාශ සහ මිනිසුන් උසිගන්වන සුළු පණිවුඩ සමාජ මාධ්‍ය ජාලා හරහා බෙදා හළ "සිංහලේ අපි" සමූහයේ ඇඩ්මින් වරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔහු හෝමාගම පදිංචි වයස අවුරුදු 16 ක පාසල් සිසුවෙකි. සැකකරු මාකොළ ළමා රැඳවුම් කඳවුර වෙත භාර කරන්නට අධිකරණය නියෝග කළ මොහොතේ ඔහුගේ දෙමාපියන් මහ හඬින් හඬා වැටුණු බව එකල පුවත්පත් වල සඳහන් විය. VPN හරහා සමාජ මාධ්‍ය ජාලා වලට පිවිසෙන්නට හැකි යැයි කෙනෙක් තර්ක කරනු ඇත. නමුත් පසුගිය සිදුවීමේ දී ජංගම දුරකතන වලට VPN දැමීමේ මෙහෙයුම රට පුරා කමියුනිකේෂන් වල ආදායම් මාර්ගයක් වීම හරහාම සාමාන්‍ය දුරකතන පරිශීලකයන්ගේ VPN පිළිබඳ දැනුවත් බව මැනිය හැකි වේ.
උගත් පාඩම් කියා දෙයක් ඇත.
83 කළු ජූලිය මතකද ? ඔබ ඒ පිළිබඳ අසා තිබේ ද ? 1983 ජූලි 23 වැනි දා රාත්‍රියේ යාපනයේ ගුරුනගර් හමුදා කඳවුරෙන් පිටත්ව පලාලි මාර්ගය හරහා මාර්ග පරීක්ෂාවේ යෙදුණ හමුදා නිලධාරීන් සහ සෙබළුන් 13 දෙනෙකු මාර්ගය දෙපස සැඟව සිටි LTTE භටයින් ඝාතනය වූ විට ගිනිබත් කෙරුණේ කොළඹ සහ අනෙක් ප්‍රදේශ වල දෙමළ ජාතිකයින්ගේ කඩ සාප්පු ය. නිවාස සහ යාන වාහන ය. දෙමළ ජාතිකයින්ගේ නිවාස සහ දේපොළ ගිනි තැබීමෙන් නොනැවතුණ බොහෝ දෙනෙක් ඒවා කොල්ල කෑ බව වසන් කළ නොහැකි නින්දා සහගත සත්‍යයකි. ගිනිගෙන දැවෙන දෙමළ නිවෙස් වලින් වගේ වගක් නොමැතිව පුටු මේස රැගෙන යන කාන්තාවන්ගේ ඡායාරූප ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලය පීරා සොයාගත හැකිය. දේශප්‍රේමය සහ ජාත්‍යාලය සමග මුසු වුණු හමුදා සොයුරන්ගේ වියෝව පිළිබඳ කම්පාව සමනය වන්නේ දෙමළාගේ දේපොළ කොල්ල කෑ විටය. ඉතිහාසය අපට ඉගැන්වූ පාඩම එය ය.
2018 පෙබරවාරි - මාර්තු වල මහනුවර තත්ත්වය මතකද ? තෙල්දෙණිය , අම්බාල පදිංචි කුමාරසිංහගේ මරණයට මුවා වී කිලෝමීටර විසි දෙකක් ගිනි තියන්නට එක් වූ ගිහි - පැවිදි පිරිස් අද වන විට ඔහුගේ පවුලට අත් වූ ඉරණම පවා නොදනී. නීතිය හමුවේ විසඳිය යුතු මිනිස් ඝාතනයකට ජාතිවාදි මුහුණුවරක් ලබා දුන් ගිහි - පැවිදි ලේ පිපාසිතයින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මිනිසුන් උසි ගන්වමින් මුස්ලිම් ජනතාව කපා කොටා දමන්නට ඇරියුම් කළහ. මන්නා රැගෙන තම්බින් කොටන්නට යන බව පවසමින් නාඹර සංඝයා වහන්සේලා ෆේස්බුක් හි බුද්ධ වචනයම ස්ටේටස් අප්ඩේට් කළහ. අවසානයේ CCTV කැමරා වල සටහන් වූයේ මුස්ලිම් කඩ කුඩු පට්ටම් කරමින් කැශියර් ලාච්චු සුද්ධ කරන දේශප්‍රේමීන් රැසකි. කුමාරසිංහ නම් පුද්ගලයෙක් මුස්ලිම් ජාතිකයන් අතින් ඝාතනය වූ වේදනාව සමනය වන්නේ මුස්ලිම් කඩ වල ලාච්චුව සුද්ධ කිරීම හරහා ය. ඉතිහාසය අපට ඉගැන්වූ පාඩම එය ය.
මේ 2019 අප්‍රේල් අග භාගය යි. 83 කළු ජූලියට වසර තිස් හයක් පිරෙන්නට ඇත්තේ තුන් මසක් පමණි. මහනුවර සිදුවීමට වසරක් පිරුණා පමණි. මෙවැනි සිදුවීමක දී ජාත්‍යාලය සහ ජාතිවාදය සමග තිරස්චීන සූදුවක නිරත වන අවස්ථාවාදීන්; මනුෂ්‍යත්වය පසෙකලා තම මඩිය තර කරගන්නට ඉදිරිපත් වන බව ඕනෑම සිහි බුද්ධිය ඇති වැඩිහිටියෙක් විසින් තේරුම් ගත යුතු ය.
මිත්‍රවරුනි ;
ඔබ අප ජීවත්වන්නේ සුනාමියෙන් දහස් ගණනක් මිනිස් ජිවිත බිලිගන්නා මොහොතේ විපතට පත් මිනිසුන්ගේ නිවෙස් පවා මංකොල්ල කෑ මිනිසුන් සිටින රටක ය. දියේ ගිලෙමින් සිටි කාන්තාවන් ගොඩට ගෙන රන් මාලය කඩාගෙන නැවත දියට තල්ලු කළ මිනිසුන් සිටින රටක ය. ගංවතුර කාලයට තාවකාලිකව අතහැර දැමූ යට වූ නිවෙස් සහ රන් භාණ්ඩ සාප්පු බිඳින්නට කිමිදෙන චෞරයින් හට වෙඩි තබන්නට නාවුක හමුදාව යොදවන රටක ය. 83 කළු ජූලියේ සිට අද දක්වා මේ සියලුම නිහීන තිරිසන් හැසිරීම් ආණ්ඩු හෝ පාලක පක්ෂ භේදයකින් තොරව ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකිකයින්ගේ අභිමානවත් හැසිරීම් ය.
උසි ගැන්වීම් සහ කුපිත කරවීම් වැළැක්විය යුත්තේ එබැවිනි. ප්‍රකෝප කිරීම් සහ ආවේගය දනවන පුවත් හෝ කරුණු පාලනය කළ යුත්තේ එබැවිනි. එය දේශපාලන පක්ෂ භේදයකින් තොරව තම වගකීමක් ලෙස සැලකිය යුත්තේ දසක ගණනක් තිස්සේ මේ රට තුළ සිදු වූ සහ අදටත් සිදු වන බළලුන් ලවා කොස් ඇට බෑවීමේ ක්‍රියාවලිය පිළිබඳ දැනුම්වත් වැඩිහිටියන් ලෙස ය. ඒ හැර කිසිම දෙයක් නිසියාකාරව කරගත නොහැකි යහපාලන රජයට සෙමර සලනු පිණිස නොවේ ය.
සිහිපත් කළ යුතු දෙයක් ඇත.
මෙවැනි ඛේදවාචක හෝ සංහාර හමුවේ පළමුව වැදගත් මහත්මා ලෙස හැසිරෙන ; අනතුර පහ වූ පසුව වහා දේශපාලනික සත්ත්වයන් සහ තිරිසනුන් බවට පත්වන කොට්ඨාසයක් ඇත. ඉන් සමහරෙක් 83 කළු ජූලිය පවා සියැසින් දුටු අය ය. අද විට කළු ජූලියේ දී දෙමළ පවුලකට රැකවරණය නොදුන් හෝ මෝටර් රථයේ සඟවාගෙන ගොස් බේරා නොගත් එකදු සිංහලයෙක් හෝ සොයාගන්නට නැතැයි වරක් ආචාර්ය නිර්මාල් දේවසිරි පැවසීය. අසූ තුනේ ඉතිහාසය ගැන වත්මන් පරපුර ඉදිරියේ එවැනි භාවතීශ ප්‍රලාප වයමින් දෙදහස් දහ නමයේ දී සංහාරයක් සිදුවන තෙක් බලා සිටින වැඩිහිටියන් වැඩිදුර නිරීක්ෂණයේ දී හෙළිදරව් කරගත හැකිය. ඔවුන් බොහෝ දෙනෙක් පසුගිය රජයේ කොන්ත්‍රාත් වලින් ආදායම් මාර්ග උපයමින් සිටි අය බවත් ; තම දරුවෙක් දෙන්නෙක් විදෙස් රටවලට යැවූ අය බවත් ඉතිරි දරුවන් රට යවන්නට ආණ්ඩු පෙරළෙන තෙක් බලාසිටින්නන් බවත් හඳුනා ගත හැකිය. විපක්ෂ දේශපාලනඥයින් ට සහ බලය අහිමි වූ දේශපාලන නායකයින්ට වඩා රටේ කිසියම් හෝ අස්ථාවරත්වයක් අපේක්ෂා කරන්නේ මේ කණ්ඩායම ය. එවිට තමාට වාසි සහගත කණ්ඩායම් බලයට පැමිණේවියි යන සුබ සිහිනය යටතේ ඔවුන් යටි හිතින් සංහාරයකට ආරාධනා කරති. කෝට්ටේ යුගයේ පැරකුම්බා සිරිතේ සිට ම දියසේන කුමාරයෙක් පැමිණ රට ගොඩ දමාවියි යන අපේක්ෂාවෙන් සිටින ජාතියකට දෙමළා හෝ මුසල්මානුවා නසන්නට යන සිංහල කල්ලකඩත්තයා පවා පෙනෙන්නේ දියසේන කුමරෙක් ලෙසිනි. එබැවින් අවස්ථාවාදීන් හට ජාතීන් අතර ගැටුමක් ඇති කරන්නට ඇති ඉඩකඩ අහුරන්නට ගන්නා ක්‍රියාමාර්ග පවා සමහරුන්ට පෙනෙන්නේ සුළු ජන කොට්ඨාස වල ඡන්දය බා ගැනීම පිණිස දැරූ උපක්‍රම ලෙසිනි. උතුරේ ඡන්ද අහිමි වූ විට ඒවා සියල්ල ත්‍රස්තවාදී ඡන්ද ලෙස අර්ථ කථනය කළ දේශපාලකයෙක්ගේ අන්ධ අනුගාමිකයින්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.
දීර්ඝ වශයෙන් ලියා තබනුයේ තත්ත්වය යම් දුරකට සමනය වූ අස්වැසුම ලද මොහොතේ සිට කීප දෙනෙකුගේ කලිසම් කෝට් ඉරාගෙන කැළෑ සතුන් එළියට පනින්නට පටන්ගෙන ඇති බව පෙනෙන නිසා ය.
අකාර්යක්ෂම යහපාලන ආණ්ඩුව හෝ රටට විහිළු සපයන අගමැති ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය හෝ කෙතට බැඳපු එපඹයා බඳු ජනපතිවරයා බේරාගන්නට ත් සුදු හුණු ගාන්නටත් අවැසි නැත.
මිනිසුන් උසි ගැන්වුවහොත් ඔබ පොලු මුගුරු රැගෙන ගොස් මරා දමන්නේ මෙයට වගකිව යුතු ත්‍රස්තවාදියාව නොව ; ඔබගේ අසල්වැසි මුසල්මානුවාව ය. 1983 ගුරුනගර් හි හමුදා සෙබළුන් දහ තුන්දෙනා ඝාතනය වූ විට කළ නින්දිත ක්‍රියාව ම 2018 දී තෙල්දෙණිය කුමාරසිංහ ඝාතනය වූ විටදීත් සිදු විය.
මිත්‍රවරුනි ;
1983 සිට 2018 දක්වා තිස් පස් වසරක් තිස්සේ නූගත් ඒ පාඩම ඔබ 2019 වන විට එක් වසරක් තුළ දී ඉගෙනගෙන ඇතැයි සිතිය හැකි ද ?
- සහන් කසීර වික්‍රමසිංහ -