හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් නොකරන්නේ ඇයි?

හම්බන්තොට යෝජිත අලි කළමනාකරණ රක්ෂිතය තුළ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආධාරකරුවන් හා මහවැලි අධිකාරියේ නිලධාරීන්ට යැපීම් දීමනා ලබා දෙන මහ පරිමාණ ව්‍යාපාරිකයන් අනවසර වගා බිම් පවත්වාගෙන යාම හේතුවෙන් 2011 වසරේ දී යෝජනා කළ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය වසර 10ක් ගතවී ඇතත් තව ම ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදෙයි.

පසුගිය පෙබරවාරි මස 22 වන දින කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හා මහවැලි අධිකාරියට අයත් ඉඩම් හෙක්ටයාර 23,747 ක් හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ලෙස ප්‍රකාශයට පත් කිරීමට ය.

දැනට වසර ගණනාවකට ප්‍රථම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට අදාළ ගැසට් පත්‍රය සකස් කර අවසන් කර තිබිය දී එය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම හා රෙගුලාසි ගැසට් කිරීමට අවශ්‍යය යැයි පවසමින් කල් වරමින් ජනතාව මුලා කිරීම මේ වන විට විෂය භාර අමාත්‍යවරුන් විසින් සිදු කරමින් තිබේ.

නමුත් යථාර්තය නම් මෙම යෝජිත රක්ෂිතය තුළ මහ පරිමාණ අනවසර වගා බිම් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් මහවැලි අධිකාරියේ නිලධාරීන්ට මුදල් ලබා දීම හා මහවැලි අධිකාරියේ විවිධ උත්සව සදහා මූල්‍යමය දායකත්වය ලබා දීම සිදු කරන බැවින් එම අධිකාරිය මඟින් රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට විවිධ බාධාවන් එල්ල කරයි. මීට අමතර ව අනවසර වගා බිම් ඇතුළු ව විශාල වනාන්තර කොටසක් ඉවත් කර මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට මහවැලි අධිකාරිය උත්සාහ දැරීම ද මෙය ප්‍රකාශයට පත් කිරීම ප්‍රමාද වීමට ඇති ප්‍රධාන බාධකයන් වේ.

1dd

අනවසරයෙන් පවත්වාගෙන යන වගා බිම් වලට වැව් හා ඇළ මාර්ග වලින් නීති විරෝධී ව ජලය පොම්ප මඟින් ලබා ගෙන යෙදීම සිදු කරන අතර මේ හේතුවෙන් වලව වම් ඉවුර යටතේ වගා කරන සුළු පරිමාණ ගොවි ජනතාව උග්‍ර ජල හිඟයකට මුහුණ දෙමින් සිටී. නමුත් අනවසර මහ පරිමාණ වගාකරුවන් විසින් මහවැලි අධිකාරියට අල්ලස් ලබා දීම හේතුවෙන් මෙම සියලූ අනවසර වගා බිම් පවත්වාගෙන යාමට හා අනවසර ජලය ලබා ගැනීමට එරෙහි ව නීතිය ක්‍රියාත්මක නොකරන අතර අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට ද අවස්ථාව ලබා නොදෙයි.

වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ දැඩි විරෝධතාවය හමුවේ මෙම රක්ෂිතය කෙසේ හෝ ප්‍රකාශයට පත් කිරීමට එකඟ විය යුතු තත්ත්වයකට මහවැලි අධිකාරිය මේ වන විට පත් වී ඇත. නමුත් මහවැලි අධිකාරියේ වලව විශේෂ නේවාසික ව්‍යාපාර කළමනාකරු ඔස්මන් ලියනගේ මහතා සදහන් කරන්නේ යෝජිත හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයෙන් හෙක්ටයාර 2300 ක් නැතහොත් අක්කර 5750 ක් පමණ ඉවත් කර මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට එකඟ වන බව ය.

2dd

එසේ ඉවත් කිරීමට සැලැසුම් කර ඇත්තේ සුවිශේෂී වනාන්තර පද්ධතියක් හා ප්‍රධාන ජල පෝෂක වනාන්තර ප්‍රදේශයක් වන අන්දරවැව, උස්ගල කොටසයි. මෙය රක්ෂිතයෙන් ඉවත් කළහොත් නියං සමයේ දී අලි – ඇතුන්ට අන්දරවැවට පිවිසීමට ඇති මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර වී යයි. මේ හේතුවෙන් මෙම ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුම උග්‍ර මට්ටමකට පත්වීමට මෙය තවත් හේතුවක් වනු ඇත. මේ වන විට මෙම වනාන්තර ප්‍රදේශය ඉවත් කර අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙන් ලැබෙන මූල්‍යමය ප්‍රතිපාදන යටතේ විදුලි වැටක් ඉදි කිරීමට ද සූදානම් වේ.

මහවැලි විෂය භාර අමාත්‍යවරයා පමණක් නොව මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු බී. ඒ. සුනිල් එස්. පෙරේරා ඇතුළු කණ්ඩායම විසින් යෝජිත අලි කළමනානරණ රක්ෂිතයේ ඉඩම් සමාගම්වලට හා මහ පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබා දීම මේ වන විට අඛණ්ඩව සිදු කෙරේ. මේ නිසා අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට දැඩි බාධා එල්ල වෙමින් පවතී.

3dd

මේ අතරතුර හම්බන්තොට උග්‍ර පානීය ජල අර්බුදයක් ඇති බව සදහන් කරමින් ඊට පිළියමක් ලෙස ගිං හා නිල්වලා ගංගාවල ජලය හම්බන්තොටට ලබා ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ. ඒ සදහා දැවැන්ත මුදල් ප්‍රමාණයක් වැය කිරීමට හා විශාල ජනතාවක් අවතැන් කිරීමට නියමිත ව ඇත. මෙම ව්‍යාපෘතිය වෙනුවට හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කර ඒ තුළ පිහිටි වැව් පද්ධතියේ ජල සුරක්ෂිතතාව ඇති කිරීම හා අනවසර වගා බිම් ඉවත් කිරීම මෙන් ම වනාන්තර විනාශ කර සිදු කරන පස් කැනීම් හා කළු ගල් වලවල් පවත්වාගෙන යාම පාලනය කිරීම තුළින් හම්බන්තොට ජල සුරක්ෂිතතාව ඇති කළ හැකි ය.

මේ අනුව හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමෙන් අලි – මිනිස් ගැටුම පාලනය කිරීම පමණක් නොව හම්බන්තොට ජනතාවගේ පානීය හා වාරි ජල සුරක්ෂිතතාවය ද තහවුරු කළ හැකි ය. මේ නිසා පටු පරමාර්ථ මත මහවැලි අධිකාරිය මඟින් මෙම රක්ෂිතය ප්‍රකාශයට පත් කිරීමට අවස්ථාව ලබා නොදීමට එරෙහි ව දැඩි බලපෑමක් සිදු කළ යුතු ය.

සජීව චාමිකර | Sajeewa Chamikara
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

Vikalpa