වීරවංශ විරුද්ධවෙද්දී මරික්කාර්ට අගමැතිගෙන් සහයෝගයක් (VIDEO)

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විස්වාසභංග යෝජනාව විවාදයට ගැනීම අද (19) සහ හෙට (20) යන දින වලදී සිදුවනවා.

විවාදය පිළිබඳව යෝජනාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සභාවට ඉදිරිපත් කළ අතර එම යෝජනාව කබීර් හෂීම් මන්ත්‍රීවරයා විසින් ස්ථිර කරන ලදි.

කෙසේ නමුත් මරික්කාර් මන්ත්‍රීවරයා විවාදය පිළිබඳව යෝජනාව ඉදිරිපත් කළ නමුත් විස්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකළ බව රීති ප්‍රශ්නයක් යොමු කරමින් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නා. විස්වාසභංග යෝජනාව ඉදිරිපත් නොකළ හෙයින් ස්ථිර කිරීමට‍ යෝජනාවක් නොමැති බවත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව විවාද‍යක් පැවැත්වීමට නොහැකි බවත් සභානායකවරයා ප්‍රකාශ කර සිටියා.

අනතුරුව කතානායකවරයා විසින් අදාල විස්වාසභංග යෝජනාව සභාව වෙත ඉදිරිපත් කිරීමට මරික්කාර් මන්ත්‍රීවරයාට අවස්ථාව ලබාදුන් නමුත් එහිදී නැගී සිටි අමාත්‍ය විමල් වීරවංශ මහතා රීති ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ එකම මන්ත්‍රීවරයෙකුට දෙවරක් එසේ අවස්ථාව ලබා දෙන්නේ කෙසේද යන්නයි. එමෙන්ම අදහස් දක්වමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද පවසා සිටියේ එසේ නම් සියළුම අයට අවස්ථා 2 බැගින් ලබා දිය යුතු බවයි.

මෙහිදි ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර උණුසුම්කාරී තත්වයක් ඇති වූ අතර මෙහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මරික්කාර් මන්ත්‍රීවරයාට විස්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට ඉඩ දෙන ලෙස පැවසීමත් සමඟ විපක්ෂය ප්‍රීතිඝෝෂා නගන අයුරු දැකගත හැකි විය.

ඉන් අනතුරුව එස්.එම් මරික්කාර් මන්ත්‍රීවරයා විසින් සභාවට අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහි විස්වාසභංග යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

News 19