තිරු කුමාර් නඩේෂන් පැය තුනක් අල්ලස් කොමිසමේ (VIDEO)

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරියක වූ නිරූපමා රාජපක්ෂ මහත්මියගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා අද (08) පැය තුනකට

අධික කාලයක් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසන් සභාව හමුවේ පෙනී සිටිමින් ප්‍රකාශ ලබා දී ඇත .

අද (08) පෙරවරු 10 ට පමණ අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම හමුවට පෙනී සිටි තිරුකුමර් නඩේෂන් මහතා පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු දහවල් 1.30ට පමණ එම ස්ථානයෙන් පිටව ගිය බව අල්ලස් කොමිසම පවසයි

තමන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීමට සූදානම් වී නොපැමිණි බැවින් අවශ්‍ය ලිපි ලේඛන ආදිය ද සමග පැමිණීමට නැවත දිනයක් ලබා දෙන ලෙසට තිරැකුමාර් නඩේෂන් මහතා අල්ලස් කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයි එම කොමිසමේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

ඒ අනුව ලබන සිකුරාදා 15 දිනට ප්‍රථම පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් වන ලිපි ලේඛන ද සමග කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දුන් බව අල්ලස් කොමිසමේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසන් සභාව හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් තිරු කුමාර් නඩේසන් මහතා ට කැඳවීම් ලැබුණේ ඉකුත් 6 වැනිදාය.

පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් 6 වෙනිදා අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසන් සභාවට දැනුම් දෙනු ලැබීය .

හිටපු රාජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් මහතා විදේශ සමාගම් භාවිත කරමින් ලොව පුරා සිය ධනය සැඟවූ බව පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළි කර තිබිණි. මෙම ධනය අතරට සුඛෝපභෝගී නිවාස, වටිනා කලා කෘතීන් සහ මිල මුදල් ද ඇතුලත්ව ඇතැයි සඳහන්ය.

(නිමන්ති රණසිංහ)
ලංකාදීප