ණයවර ලිපි 64ක් හිර වෙලා : ඖෂධ හිඟයක් ස්ථිරයි (VIDEO)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 64 ක් සිරවී ඇති හෙයින් ඉදිරියේදී රටේ ඖෂධ හිඟයක් ඇති විය හැකි බව සමගි ජන බලවේගය පක්ෂයේ කළුතර

දිස්ත්‍රික් මන්ත්‍රී රාජිත සේනාරත්න පාර්ලිමේන්තුවේදී අද (30) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

ගුවන්තොටුපොළ හරියාකාරව කළමනාකරණය කළහොත් ඔමික්‍රෝන් ප්‍රදේශයෙන් ගැලවිය හැකි බවද ඔහු සඳහන් කළේය.

මෙවැනි ප්‍රභේදයක් පැමිණියහොත් අප වැනි කුඩා දිවයිනකට ඔරොත්තු නොදෙන බව පැවසූ සේනාරත්න මහතා එම වයිරසය පැමිණියහොත් කීදෙනකු ඉතිරිවේ දැයි කිව නොහැකි බවද පැවසුවේය.

රටේ එන්නත්කරණය ප්‍රමාදවූ හෙයින් රට විශාල අර්බුදයකට ගිය බවද රාජිත සේනාරත්න මහතා කීවේය.

කොවිඩ් පාලනයේ ලෝකයේ නරකම රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 58 වැනි ස්ථානයේ බව පැවසූ මන්ත්‍රීවරයා එය ඉතාම නරක තත්වයක් බවද ප්‍රකාශ කළේ‍ය.

එන්නත්කරණය පැත්තෙන් ශ්‍රී ලංකාව සිටින්නේ 39 වැනි ස්ථානයේ බවද ඔහු පැවසුවේය.

මේ සියල්ලට හේතු වූයේ විද්‍යාව පැත්තක තබා අවිද්‍යාව පස්සේ පැන්නූ නිසා බවත් විවිධ පැණිබී මුට්ටි දැමු බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ‍ය.

සමහරුන් කතානායකවරයාටද පැණි පෙව්ව බව ඔහු වැඩිදුරටත් කීය.

ලංකාදීප