ජනාධිපතිට අගමැතිට ආණ්ඩුවට හුදකලාවී තනිමතයට රට ගොඩනැගිය නොහැකියි - සජීත් ප්‍රේමදාස (VIDEO)

ජනාධිපතිට අගමැතිට පාර්ලිමේන්තුවට හුදකලාවී තනිමතයට රටක් ගොඩනැගිය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

 

"මැදහත් මාවත" මැයෙන් සිවිල් සංවිධාන එකමුතුවක් විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහනකට ඊයේ (22) එක්වෙමින් විපක්ෂ නායකයා කියා සිටියේ විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුලුණු තුන සංවරණ හා තුලන ක්‍රමවේදය සහිත ව පැවතිය යුතු බව තමන් විශ්වාස කරන බවයි.

ප්‍රශ්න කන්දකට සිරවී ඕජස් ගලන තුවාලයක් බවට පත්ව ඇති රට සුවපත් කිරීම උදෙසා සම්ප්‍රදායක වැඩපිළිවෙළක් කිසිසේත් සරිලන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත හිඳගෙන මේ රටේ ප්‍රශ්න විසඳිය යුතු යැයි තමන් විශ්වාස කරන බව පැවසූ විපක්ෂ නායකයා, ඉතාමත්ම ප්‍රායෝගිකව පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද වන විට අන් කවරදාටත් වඩා දැඩිව දැනෙමින් තිබෙන බවද පැවසීය. එසේම, එම පොදු වැඩපිළිවෙළ ප්‍රායෝගික විය යුතු බවත් නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්විය යුතු අවංක එකක් විය යුතු බවත් පැවසීය.

රට ගොඩනගන වැඩපිළිවෙළේ ප්‍රධාන කුළුණු පහ අතරට සිවිල් සංවිධාන ද අයත් විය යුතු බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යහපත් සහ ප්‍රශස්ත රාජ්‍ය පාලනයක් උදෙසා එය අත්‍යවශ්‍ය බව ද කීය.