විජයදාසට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස

විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස 27 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියෝග කළේය.

මෙම නඩුව අද (27) කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

තමා මේ හා සමාන තවත් නඩුකරයක් විභාග කරන බැවින් මෙම නඩුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 අධිකරණ ශාලාවේ විනිසුරුවරයා වෙත යොමු කරන බව දිසා විනිසුරු විතාන මහතා නියෝග කළේය.

ඉන් අනතුරුව කොළඹ දිසා අධිකරණයේ අංක 07 ශාලාවේ අතිරේක දිසා විනිසුරුවරයා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබීය.

එහිදී මෙම නඩුවට අදාළ විරෝධතා ගොනු කිරීම සඳහා කල් ලබාදෙන ලෙස වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබාදුන් විනිසුරුවරයා නඩුව නැවත ජුනි මස 27 වනදා කැඳවන ලෙස නියෝග කෙරුණි.

අමාත්‍යවරුන් වූ ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර සහ දුමින්ද දිසානායක විසින් මෙම නඩුව ගොනු කර තිබුණි. 

විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

(Ada derana)